(ඩයනා උදයංගනී)
ජාතීන් අතර යළිත් ගැටලුවක් ඇති නොවන ආකාරයෙන් ශ්‍රී ලාංකික ජාතියක් ලෙස එකට ජීවත් වන රටක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පරිසරය මේ රට තුළ ගොඩනගා ගත යුතු බවටත්, සිංහල, බෞද්ධ ජනතාවගේද කැමැත්ත ඇතිව එය සිදුකළ යුතු බවටත් වන අදහසක විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා සිටීම රටට ඉතා වැදගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පැවසීය.
රටට වැදගත් එවැනි පරිසරයක් සදාගැනීමට හැකි බවට දැඩි විශ්වාසයකින් තම කණ්ඩායම කටයුතු කරන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඔහු ඒ බව පැවසුවේ විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා සහ විපක්‍ෂයට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ 16 දෙනාගේ කණ්ඩායමේ සාමාජිකයින් පිරිසක් අතර අද (30) කොළඹ ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුවය.
එම සාකච්ඡාව පැය එක හමාරකට ආසන්න කාලයක් පැවති අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, එස්.බී දිසානායක, ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න, දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන, තිලංග සුමතිපාල, තාරානාත් බස්නායක යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව පිරිස ආර්. සම්බන්ධන් මහතා සමඟ ඉතා සුහදශීලීව කතා බහ කරමින් විපක්‍ෂ නායක කාර්යාලයෙන් පිටතට පැමිණෙන අයුරු දක්නට ලැබුණු අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එස්.බී දිසානායක මහතා මෙසේ කියා සිටියේය.
“ජේ. ආර් ජයවර්ධන මහතා මෙන්ම 1994 අපි බලය ගත් පසු චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියත් ආර්. සම්බන්ධන් මහතාට ඇමතිකම් ගන්න ආරාධනා කළා. එතුමාගේ ගෙදරටම ගිහින් අපි ආරාධනා කළත් එතුමා ඉතා සහෝදරත්වයෙන් මිත්‍රත්වයෙන් ඒ ආරාධනා ප්‍රතික්‍ෂේප කළා. එතුමාගේ අත්දැකීම්, පළපුරුද්ද අනුව මේ රටේ නැවත කිසි දවසක සිංහල, දෙමළ, මුස්ලිම් අරගලයක් ඇති නොවෙන්න, ජාතීන් අතර ප්‍රශ්නයක්, ගැටලුවක් ඇති නොවෙන්න, ශ්‍රී ලාංකික ජාතියක් ලෙස එකට ජීවත් වන රටක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය නීති රීති සම්පාදනය කරන්න අවශ්‍ය පරිසරය මේ රටේ ගොඩනගා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපි එතුමා සමඟ සාකච්ඡා කළා.
එවැනි පරිසරයක් සදාගැනීමට හැකි බවට දැඩි විශ්වාසයකින් අපි ඉන්නේ. ඒ විශ්වාසයෙන් හා ගෞරවයෙන් යුතුවයි අපි එතුමා හමුවී මෙම සාකච්ඡාව කළේ. එය ඉතා සාර්ථකයි.”
මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේ සඳහන් කළේය.
“අපි ආණ්ඩුවෙන් ඉවත් වීමට හේතු හා දැන් විපක්‍ෂයේ සිටිමින් කිරීමට බලාපොරොත්තු වන දේ ගැන අපි සම්බන්ධන් මහතා සමඟ සාකච්ඡා කළා. එමෙන්ම විපක්‍ෂයේ සියලු පක්‍ෂ සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අපි මේ වන විටත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ඩිව් ගුණසේකර මහතා සමඟ සාකච්ඡා කර තිබෙනවා. ඉදිරියේදී මුස්ලිම් පක්‍ෂ නායකවරුන්, ජනතා විමුක්ති පෙරමුණ ආදිය සමඟත් සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අපි කාලානුරූපව ගත යුතු පියවර ගන්නවා.”
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා මෙසේ සඳහන් කළේය.
අපි කණ්ඩායමක් ලෙස අද මේ සාකච්ඡාව පැවැත්වූවා. ඉදිරියේදී අනෙක් පක්‍ෂ සමඟත් සාකච්ඡා කර මේ රටේ ජාතික ගැටලුව විසඳීම සඳහා යම් සහයක් දිය හැකිනම් එය ලබාදීමට අපි කටයුතු කරනවා. ඉන් එක් ජාතියකට හෝ අසාධාරණයක්, අයුක්තියක් නොවන ආකාරයට මුළු රටේම පොදු හැඟීමක් ඇති වැඩපිළිවෙලක් සහිතව මේ ප්‍රශ්නය විසඳීමට අවශ්‍ය වැඩපිළිවෙල ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.”
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා මෙහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙසේ පැවසීය.
අපි මෙහිදී ඉතා වැදගත් කරුණු රැසක් සාකච්ඡා කළා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලෙස එහි ප්‍රතිපත්ති මත සිටිමින් රටේ අනාගතය වෙනුවෙන් කටයුතු කළ යුතු අකාරය අපි මෙහිදී සාකච්ඡා කළා. ආර්. සම්බන්ධන් මහතා රටේ සිටින ඉතා ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක්. ඒ නිසාත්, අපි විරුද්ධ පක්‍ෂයේ ඉන්න නිසා එතුමා විරුද්ධ පක්‍ෂ නායකයා නිසාත්, දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින නායකයතු නිසාත් අපි එතුමා සමඟ සාකච්ඡා කළා. රටේ පවතින විවිධ කටයුතුවලදී එකතු වී වැඩ කිරීම වැදගත් යැයි අපි සිතනවා.
ඒ සාකච්ඡාවේදී එතුමා කීවේ මේ රටේ සිංහල, බෞද්ධ ජනතාවගේ කැමැත්ත ඇතිව පවතින ප්‍රශ්න විසඳීම වැදගත් බවයි. එතුමාගේ දේශපාලනයෙන් අපි ගත යුතු බොහෝ දේ තිබෙනවා. එතුමා කවදාවත් ආණ්ඩු පක්‍ෂයේ ඉඳලා නැහැ. ජේ.ආර් ජවයර්ධන මහතාගේ කාලයේ ඇමතිකමක් ලබා දුන්නත් එය භාරනොගෙන විපක්‍ෂයේ කටයුතු කළ, මධ්‍යස්ථ මතධාරී නායකයෙක් ලෙස අපි එතුමා දකිනවා. මේ සාකච්ඡාව අපේ දේශපාලන ගමනට මෙන්ම රටේ දේශපාලන ගමනටත් ඉතා වැදගත් වුණා.”
පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා මෙසේ පැවසීය.
“ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පක්‍ෂයක් ලෙස ජාතීන් අතර සමඟිය වෙනුවෙන් කැපවී සිටිනවා. අපි අද විපක්‍ෂ නායකතුමා සමඟ සාකච්ඡාවේදී දැනගත් හොඳ දෙයක් වන්නේ එතුමා දෙමළ ජාතික සන්ධානයේ නායකයා ලෙස මෙන්ම විපක්‍ෂ නායකවරයා ලෙසත් මේ රටේ ජාතීන් එක්ව කටයුතු කිරීම සඳහා කැපවීමට කැමතියි යන්නයි. දකුණේ දේශපාලනඥයෙක් ලෙස මට ඇති ගැටලුව වන්නේ ඒ කැපවීම එලෙසින් ප්‍රකාශ කරද්දී අනෙකුත් පාර්ශවයන්ට ඒ අයුරින් කටයුතු කිරීමට නොහැක වුණේ මන්ද රට මෙතැනට පත්වුණේ ඇයිද යන්නයි. අනාගතයේ අපිට ඒ වෙනුවෙන් කටයුතු කිරීමට හැකිවේ යැයි මම විශ්වාස කරනවා.”
මෙහිදී විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පැවසුවේ එම සාකච්ඡාව සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැක්වූ අදහස් හා තමන් සම්පූර්ණයෙන් එකඟ වන බවයි.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි