සමස්ථ මුස්ලිම් ජනතාව දෙස ත්‍රස්තවාදීන් ලෙස බලන්න එපා


(පුෂ්පකුමාර ජයරත්න )
 
 සුඵ අන්තවාදින් පිරිසක් කළ විනාශයක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ සමස්ත මුස්ලිම් සමාජයම දෙස සැකයෙන් බලා කටයුතු කළහොත් ඉදිරියේදි අනෙක් මුස්ලිම් තරුණයෝද මුස්ලිම් අන්තවාදයට යොමුවීම වැළැක්විය නොහැකි වනු ඇතැයි  අද  (05) පොල්ගහවෙල වදාකඩ සපුගස්කන්ද  ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ ටැම්පිට විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකට සහභාගි වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය .
 
එසේ සැකයෙන් බලා කටයුතු කළොත්  දැනට බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන ඇති අකාරයට මේවනවිට ඉතිරිව සිටින හැත්තෑවක් අසූවක් පමණවූ සුඵ මුස්ලිම් අන්තවාදීන් පිරිස මර්ධනය කිරීම පසෙක තබා ඉදිරියේදි ඊට වඩා බරපතල ප්‍රශ්නයකට රටට මුහුණ දීමට සිදුවනු ඇති බවට ජනාධිපතිවරයා අනතුරු හැඟවීය.
 
ඇතිවී තිබෙන මෙම ප්‍රශ්නය විසඳීමටනම් රටතුළ වෙසෙන සිංහල , මුස්ලිම්  , දෙමළ ජාතින් අතර පවතින සැකය ඉවත්කොට සහජීවනය ඇතිකිරීම අත්‍යාවශ්‍යම බවද ජනාධිපතිවරයා පැවසීය .
 
අයි.එස් ත්‍රස්තවාදීන්ට අපේ රටෙන් කිසිදු ප්‍රහාරයක් එල්ල නොවී තිබියදීත් එම සංවිධානය අපේ රටට මෙවැනි ම්ලෙච්ඡ ප්‍රහාරයක් එල්ල කළේ ඇයිද යන්න තමාට මෙන්ම ජාත්‍යන්තර බුද්ධි අංශ වලටද  බරපතල ප්‍රශ්නයක් වී ඇතැයිද ජනාධිපතිවරයා පැවසීය .
 
   එබැවින් මෙම ගැටලුව විසඳීම සඳහා ලෝකයේ ප්‍රබල රටවල් කීපයකම ත්‍රස්තවාදය පිළිබඳ යුද විශේෂඥයින් සේම බුද්ධි අංශ විශේෂඥයින් පිරිසක් පැමිණ මෙරට ආරක්ෂක අංශ සමග එක්ව කටයුතු කරන බව පෙන්වා දුන්  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා , 
ඇතැම් පිරිස් චෝදනා කරන ආකාරයට අපේ රටට කිසිදු විදෙස් හමුදාවකට පැමිණීමට කිසිම ආකාරයකටවත් ඉඩ නොතබන බවට  අවධාරණය කළෙය .මෙම අන්තවාදී ප්‍රශ්නය විසඳීම සඳහා අපේ ආරක්ෂක හමුදා ඉතා ප්‍රමාණවත් බවද මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය .
 
විජයසුන්දරාරාම පුරාණ ටැම්පිට විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ ⁣ඉපැරැණි බෝධිය වටා ඉදිකළ රන්වැට සහ  සම්බුද්ධ  අසූමහා ශ්‍රාවක පිළිම චාරිකා පිළිම වහන්සේලාගෙන් සමන්විතව ඉදිකළ   පුදබිම විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් දැක්වීය.
 
විජයසුන්දරාරාම පුරාණ ටැම්පිට විහාරාධිපති    අරඹේපොල සීවලී හිමියන්ගේ ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම උත්සවයට සහභාගි විය.