සමස්ත ලංකා පාසල් ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා තරගාවලිය හෙට සිට


අධ්‍යාපන අමාත්‍යංශය සංවිධානය කරන සමස්ත ලංකා පාසල් ක‍්‍රීඩා උළෙලේ (2011) තෙවැනි අදියර වන ජවන හා පිටිය මලල ක‍්‍රීඩා තරගාවලිය හෙට (30) සිට ඔක්තෝම්බර් මස 3 වැනිදා දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා පාසල් ක‍්‍රීඩා ඉතිහාසයේ පළමු වරට මෙවර මලල ක‍්‍රීඩා තරගාවලියේ දක්ෂතම ක‍්‍රීඩකයාට සහ ක‍්‍රීඩිකාවට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අනුග‍්‍රහයෙන් රුපියල් 125,000 ක් බැගින් මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිතය. මලල ක‍්‍රීඩා තරගාවලිය පළාත් නවයක් නියෝජනය කරමින් පාසල් 1035 කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 2,466 ක් පමණ සහභාගි වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. පළමු සහ දෙවැනි අදියර යටතේ පාසල් 1670 කින් ක‍්‍රීඩක ක‍්‍රිඩිකාවෝ 12,842 ක පමණ සහභාගිත්වයෙන් කණ්ඩායම් ක‍්‍රීඩා 25 ක් පැවැත්විණි. මලල ක‍්‍රීඩා තරගාවලියේ සමාරම්භක උත්සවය හෙට (30) පෙරවරු 9.00 ට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහත්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර සාමාප්ති උත්සවය ඔක්තෝම්බර් මස 3 වැනිදා පස්වරු 3.00 ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.