සභිකයින්ගේ දීමනා ගෙවීමට මුදල් නැතැයි තංගල්ල ප්‍රා. සභාපති කියයි


(චන්ද්‍රසේන ගමගේ)
 
සැප්තැම්බර් මාසය සඳහා තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභිකයින් 28 දෙනෙකුට ගෙවිය යුතු දීමනාව ගෙවාගැනීමට සභාව සතුව මුදල් නැති බව තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ලාලිත වනිගසේකර මහතා අද (20) පැවති මාසික රැස්වීමේදී පැවසීය.
 
සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ තංගල්ල ප්‍රාදේශීය සභාවේ ඉතිහාසය තුළ මෙවැනි තත්වයකට සභාව කිසිදිනක පත් වූයේ නැති බවයි.

“තංගල්ල ප්‍රාදේශීය සභාවට, දකුණු පළාත් සභාව මගින් ලැබිය යුතු  දඩ හා මුද්‍රණ වියදම් රුපියල් කෝටි 9 ක පමණ මුදලක් ලැබිය යුතුව තිබෙනවා. මම මේ පිළිබඳව අදාළ අංශ කිහිපවරක් දැනුවත් කළා. පසුගියදා ජනාධිපතිතුමාගේ ලේකම්වරුන් සමඟ හම්බන්තොට පරිපාලන ගොඩනැගිල්ලේ පැවති සාකච්ඡාවකදී පවා මම මේ ගැන සඳහන් කළා” යැයිද ඒ මහතා පැවසීය.
 
මේ තත්තවය යටතේ දුරකථන හා ඉන්දන දීමනාව පමණක් ගෙවීමට හැකියාව පවතින බව හෙතෙම කීය.
 
පළාත් සභා සේවකයින්ගේ මාසික වැටුප් ගෙවන්නේත් ප්‍රාදේශීය සභාවලින් ලැබෙන ආදායමෙන් බවට දකුණු පළාත් සභාවේ නිලධාරීන් තමාට පැවසූ බවද ඒ මහතා කීය.
 
තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභිකයෝ 29 දෙනෙක් සිටිති. ඒ අතර ප්‍රාදේශීය සභාවේ, ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයකු ඉල්ලා අස්වී ඇති අතර, ඒ තනතුර සඳහා කිසිවකු පත්කර නොමැත. මෙම සභිකයන්ගේ දීමනාව සඳහා රුපියල් 450, 000 ක් වැය වේ.