සබරගමුව සරසවියට නව වෛද්‍ය පීඨයක්


සබරගමුව විශ්ව විද්‍යාලයට  අනුබද්ධිතව  නව වෛද්‍ය  පීඨයක් ඉදි කර තිබේ.
 
 ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීමේ අරමුණින්  කුරුවිට බටුහේනේ ඉදි  කර ඇති මෙම   නව වෛද්‍ය පීඨය  මේ මස 17 වැනිදා  විවෘත කිරීමට නියමිතය.
 
මෙහි පළමු අදියර  යටතේ වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් 75 දෙනකු බඳවාගනු ලබන අතර ඔවුන් ලියාපදිංචි කිරීමද  විවෘත කිරීමේ දිනදී සිදු කිරීමට නියමිත බව සබරගමුව විශව විද්‍යාලයේ උපකුලපති  මහාචාර්ය සුනිල් ශාන්ත මහතා සඳහන් කළේය.
 
 
වෛද්‍ය පීඨයට අවශ්‍ය අති නවීන පහසුකම්  සහ තාක්ෂණයෙන් යුත්  රසායනාගාර පහසුකම්, බඳවා ගන්නා සිසුන්ට පුර්ණ නේවාසික පහසුකම් මෙහි ස්ථාපිත කර තිබේ.
 
 
විගණකාධිපති දෙපාර්තමේන්තුව යටතේ  කුරුවිට බටුහේනේ ඉදි කර තිබු    පුහුණු මධ්‍යස්ථානය වෛද්‍ය පීඨයක ඇති අවශ්‍යතාව මත පදනම්ව සබරගමු විශ්ව විද්‍යාලයට පවරා දීමෙන් අනතුරුව මෙම වෛද්‍ය පීඨය ඉදි කළ බව උපකුලපති  මහාචාර්ය සුනිල් ශාන්ත මහතා පැවසීය
 
 
 මෙම වෛද්‍ය පීඨය ඉදි කිරීමත් සමඟ ලංකාවේ  10 වැනි වෛද්‍ය පීඨය ලෙස  මෙම වෛද්‍ය පීඨය නම් කළ හැකිය.
 
එමෙන්ම වයඹ සහ මොරටුව විශ්ව විද්‍යාලයන්හිද වෛද්‍යපීඨ ඉදි කිරීමට නියමිතය.
 
 
වෛද්‍ය පීඨය විවෘත කිරීමට සමගාමීව  නිදහස් සෞඛ්‍ය සේවයේ ගුණාත්මක භාවය ජනතාවට ලබාදීමේ අරමුණින් රත්නපුර මහ රෝහල ශික්ෂණ රෝහලක් කර ජනතා අයිතියට  පැවරීමද සිදු කිරීමට නියමිතය.
 
 
 සෞඛ්‍ය,පෝෂණ හා දේශිය වෛද්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ  සංකල්පයකට අනුව  මෙය ඉදි කෙරුණු අතර  අමාත්‍යවරයාගේ සහ අග්‍රාමාත්‍ය රනිල්වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 17 වැනිදා  නව වෛද්‍ය විද්‍යාලය සිසු අයිතියට පැවරීමට නියමිත බවද  උප කුලපතිවරයා සඳහන් කළේය.

(36698)