සබරගමු පළාත් සභා කෝටි හතේ වංචාවට තවත් දෙකක් රිමාන්ඩ්


(අජිත්ලාල් ශාන්තඋදය, පල්ලෙබැද්ද රෝහණ සමරවීර සහ දාපනේ ජයන්ත නානායක්කාර)

රුපියල් කෝටි හතකට  අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් අසබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිටපු සහකාර සැලසුම් අධ්‍යක්‍ෂ අධ්‍යක්‍ෂවරියක ලබන මස 08දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි  ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් තිළිණ මහේෂ් පීරිස් අද නියෝග කළේය.

මෙසේ රක්‍ෂිතභාරයට පත්කෙරුණේ සබරගමු පළාත් සභාවේ පළාත් මාර්ග, ග‍්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක සහ ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයකු ලෙස කටයුතු කර විශ‍්‍රාම ලබා ඇති  දේවප‍්‍රිය විජයරාජ සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිටපු සහකාර සැලසුම් අධ්‍යක්‍ෂ අධ්‍යක්‍ෂවරියක වු කුසුම්ලතා කුමානායක යන දෙදෙනායි.

සබරගමු පළාත් සභා අරමුදල්වලින් ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවට ලබාදුන් රුපියල් හත්කෝටි දාසය ලක්‍ෂ හතළිස් පන් දහස් දෙසිය විසි හයක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්‍ධයෙන් මෙම දෙදෙනා ද සැකපිට අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

එකි මුදල් වංචාව සම්බන්‍ධයෙන් මේ වනවිට ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු ලේකම්වරයකු, ලිපකරුවකු සහ තාක්‍ෂණ නිලධාරියකු රිමාන්ඞ්භාරයේ පසුවෙයි.