එක්තරා කාලෙක උදේ ඉඳල රෑ වෙනකන්, එකම එෆ්.එම්. නාලිකාවක වුණත් ”සඳක් නම්” ගීතය තුන් හතර වතාවක් ප‍්‍රචාරය වුණා. එක චැනල් එකක සඳක් නම් ගියාට පස්සේ තව චැනල් එකක් දැම්මාම ඒකෙත් යන්නේ සඳක් නම්.
මේ නිසා සඳක් නම් ගීතය, රෝහන් ශාන්ත බුලේගොඩට වාසනාව ගෙනාවා කිව්වොත්, ඒක අතිශයෝක්තියක් නෙමෙයි.
ඒත් සඳක් නම් පායන්න කාලින් රෝහන් ශාන්ත බුලේගොඩ කියලා ගායකයෙක් ගැන මහ ලොකු පිරිසක් දැනන් හිටියෙ නෑ.
කොහොමටත් මගේ ආශාව තිබුණෙ, පත්තරවල පුංචි පුංචි දේවල් ලියන්න.
මම මගේ පළමු කවිය පත්තරේකට ලිව්වෙ ස්කෝලෙ යන කාලෙ. ඊට පස්සෙත් දිගටම, දිගින් දිගටම මම පත්තරවලට කවි ලිව්වා. ඊට පස්සෙ පත්තරවලට කලාකාරයො ගැන ලිපි ලියන්නත් පටන් ගත්තා. ඔන්න ඔය කාලෙදි තමයි පළමුවරට මට ගීතයක් ගායනා කරන්න අවස්ථාවක් ලැබුණෙ. ඒකත් අලූත් අවුරුදු ගීතයක්. මට මතක විදිහට 1988 අවුරුද්දෙ.
තුරුලිය සපුරා මල්පල උතුරා
සදාහරිත යෞවනයයි
නිමල් තලාමත දඹ රන් ටැම් මෙන්
අවුරුදු කුමරු මමයි
ගාමිණී විජේතුංග පද රචනය ලියපු මේ ගීතය සංගීතවත් කළේ ආනන්ද ගමගේ.
මේ ගීතය ජාතික රූපවාහිනියෙ අවුරුදු වැඩසටහනක විකාශය වූ දා මට ලැබුණු සතුට ගැන කියන්න වචන නෑ. එදා තමයි මම හිතුවෙ කොහොම හරි ජනප‍්‍රිය ගායකයෙක් වෙන්න ඕනෙයි කියලා.
ඊට පස්සෙත් මට විවිධ වැඩසටහන්වලට ගීත ගයන්න අවස්ථා ලැබුණා. වෙසක් වැඩසටහනකට, ‘මලින් පරසතු වැඳුම් ලද්දේ මලින් වනපස පිදුම් ලද්දේ’ කියලා ගීතයක් ගායනා කරන්නට ලැබුණා.
ඔය කාලෙ ජාතික රූපවාහිනියෙ විකාශය වුණා නඳුන් උයන කියලා ජනප‍්‍රිය වැඩසටහනක්. මේක තරුණයන් වෙනුවෙන් නිර්මාණය වුණේ. මේ ඔස්සේ කුසලතා පිරි අලූත් තරුණයන් ගායන ලොවට බිහිවුණා. මේ වැඩසටහනෙත් ගායනා කරන්න මට ගීතයක් ලැබුණා. ‘උපනා තනිකම’ කියලා.
ඔය අතරෙ මට ගුවන් විදුලි සරල ගී වැඩසටහනක් ලැබුණා. මට මතක හැටියට මේ වැඩසටහන ප‍්‍රචාරය වුණේ 1990 ජනවාරි පළවෙනිදා.
මේ වැඩසටහනට සරල ගී තුනක් ඕනෙ වුණා. කිත්සිරි නිමල් ශාන්තගෙ ‘නෙතට හමුවේවා’ ගීතය ලැබුණා. එතකොට ධම්මික බණ්ඩාර කියලා මගෙ මිත‍්‍රයෙක් හිටියා. මේ මිත‍්‍රයා ඒ කාලෙ ලියලා තිබුණා අහෝ මිත‍්‍රවරුනි කියලා කවිපොතක්. ඔය කවි පොතේ තිබුණු එක නිර්මාණයක් මගේ හිත සසල කරල තිබුණා. මම ඒ නිර්මාණය තෝරාගත්තා ගීතයක් ලෙස ගායනා කරන්න.
පිපුනිදෝ ඔබ මේ උදේ
පිපුනු අරලිය මලක් සේ
තක්සලාවේ අකුරු ඇහිඳින
පුංචි සා පැටවී........
මගේ ඒ පළමු සරල ගී වැඩසටහනේ වඩාත්ම ප‍්‍රතිචාර ලැබුණු ගීය වුණේ මේක.
ඉගෙන ගන්න ස්කෝලෙට යන පුංචි දැරියක් ගැන කියැවෙන සංවේදී කතාවක්. ඇයට ඉගෙන ගන්න ඉඩදීලා, පේ‍්‍රම නොකර පලයල්ලා කියලා හැමෝටම කරන ආයාචනයක්.
ඊට පස්සෙ මට ටෙලි නාට්‍යයක ගීතයක් ගායනා කරන්න අවස්ථාවක් ලැබුණා. සිටු මැදුර කියන ටෙලිනාට්‍යයේ තේමා ගීය වුණේ, ‘නිහඬ අරණ දළු මල් පුබුදයි’.
මේ ගීතය මට ගායනා කරන්න වුණේ රඟපාමින්. ඒ කියන්නෙ ගිටාර් එක වාදනය කරමින් ගායනා කරන්න. ගිටාර් එක ඇර වෙන කිසිම වාද්‍ය භාණ්ඩයක් මේ ගීතයට එදා තිබුණේ නැහැ.
ඔය විදිහට ගීතයෙන් ගීතය එක් වෙමින් තිබුණෙ. මේ කාලෙ සී.ඞී. කියලා සංගීත පටි ජාතියක් ඇවිත් බොහොම ජනප‍්‍රිය වුණා. ගායකයො ගායිකාවො තරගෙට සංගීත සී.ඞී. පටි නිකුත් කළා. සී.ඞී. පටි නිෂ්පාදකයොත් එකිනෙකා පරදවන තරගයක හිටියෙ. ඔය කාලෙ මටත් අවස්ථාවක් ලැබුණා සී.ඞී. එකක් කරන්න. සිංග් ලංකා සමාගමේ කුලරත්න ආරියවංශ තමයි මට මේ අවස්ථාව දුන්නෙ.
මම ඉතින් හොඳ නැගල යන සිංදු හොයනවා මේ සී.ඞී. එකට. බන්දුල නානායක්කාරවසම් මගෙ පිටිපස්සෙන් ඉන්නවා මට සිංදු තෝරන්න සිංදු හොයන්න එහෙම.
මම මහගම සේකරගෙ නොපල ගීත පොතෙන් එක සිංදුවක් හොයාගන්නවා ‘මල් පිපුනේ නැත ඔබ හමුවන තුරු මිදුලේ වතු සුදු මල් ගාලේ’ කියලා. ඔය අතරෙ කුලරත්න ආරියවංශ මට ගෙනැල්ල දෙනවා පත්තර පිටුවක්. ඒකෙ තියෙන කවියකින් හොඳ ගීතයක් හදන්න පුළුවන් කියලා. ‘මලට මුව තියා රොන් බිව් බමරුනුත් ගියා’ කියන යමුනා මාලනී පෙරේරාගේ සිංදුව හැදුනෙ ඒ විදිහට.
දයා ද අල්විස් ලියපු ‘සඳක් නම් බැසයන්න තිබුණා’ සිංදුව බන්දුල නානායක්කාරවසම් අරගෙන ආවා.
මම ඔය ගී පදමාලාවලට සංගීතය නිර්මාණය කරගෙන ගායනා කරල සිංදු ටික හදාගත්තට පස්සෙ මගේ පළවෙනි සී.ඞී. තැටිය ‘නිහඬ අරණ’ නමින් නිකුත් වුණා. අර ‘පිපුනිදෝ ඔබ මේ උදේ’ වගේ මගෙ ජනප‍්‍රිය වුණු ගීතත් මේ සී.ඞී. එකේ තිබුණා. මේ ගී අතරින් ඒ වෙනකොට මිනිසුන් අතරට වැඩිපුරම ගිහින් තිබුණු නිර්මාණය තමයි නිහඬ අරණ. මේ නිසා මේ ගීතයෙ නමින්, මේ සී.ඞී. එක නම් කිරීම වඩාත් හොඳ වුණා.
ඒත් සී.ඞී. එක ඇවිත් ටික කාලයක් යද්දි වැඩියෙන්ම ජනප‍්‍රිය වුණේ ‘සඳක් නම්’ ගීතය. ‘නිහඬ අරණට’ ලැබුණෙ ඊට වඩා අඩු ජනප‍්‍රියත්වයක්.
සඳක් නම් සිංදුව උදේ හිටන් රෑ වෙනකන් හැම තිස්සෙම වගේ රේඩියෝ චැනල්වල ගියා.
පත්තරවලින් කතා කරලා මගේ ”ඉන්ටවීව්” ගත්තා. සමහර පත්තරවල මුල් කවරත් සැරසුවෙ මගේ පින්තූරවලින්. ඒ විතරක් නෙමෙයි සඳක් නම් සිංදුවට රූප රචනාත් කීපයක් කෙරුණා. එක එක රූපවාහිනී නාලිකාවලින් තමයි මේ රූප රචනා කෙරුණෙ.
මේ නොසිතූ විරූ ජනප‍්‍රියත්වය නිසා සිංග් ලංකා සමාගමෙන්, නිහඬ අරණ සී.ඞී. එකට සඳක් නම් කියන නම දුන්නා. ඒත් එක්ක මේ සී.ඞී. එකත් අලෙවි වෙන්න පටන්ගත්තා.
ලංකාවෙ විවිධ සංගීත ප‍්‍රසංගවලට රෝහන් ශාන්ත බුලේගොඩට ආරාධනා ගලා එන්න පටන් ගත්තෙ ඒ අතරමයි. නමුත් ඒ වෙද්දි මම ප‍්‍රසංගයකට ගන්න ඕන මුදල ගැනවත් දැනගෙන හිටියෙ නැහැ. පස්සෙ මම දයා ද අල්විස් අක්කට කතාකරලයි ඇහුවෙ ප‍්‍රසංගෙක සිංදු කියනවට කීයක් අයකරන්න ඕනෙ ද කියලා.
මගෙ ජනප‍්‍රියත්වයත් එක්ක පෙම් හසුන් එහෙමත් එන්න පටන් ගත්තා. ඒත් ඒ වෙනකොට මම විවාහ වෙලා හිටියේ. වසර ගණනාවක මිත‍්‍රත්වයකින් පස්සෙ මම බැන්දෙ යස්මින් බන්දුලා කියන යුවතිය. අපේ විවාහ ජීවිතය හරිම සුන්දරව ගලා ගියා. ඒ නිසා මට අර පෙම් හසුන් ඉවත දාන්න සිදුවුණා. අනිත් එක මම මාධ්‍යයෙන් වත් මගේ විවාහය හැංගුවෙ නැහැ. සමහරු වගේ ජනප‍්‍රියත්වය අඩුවෙයි කියලා බයක් මට තිබුණෙත් නැහැ.
අදටත් මගේ ජනප‍්‍රියම ගීතය සඳක් නම් කියලයි මට හිතෙන්නෙ. ඒ නිසා මට වාසනාව ගෙනා ගීතය විදිහට මට කියන්න තියෙන්නෙ සඳක් නම් ගීතය ගැන තමයි. මේ ගීතයෙ සංගීතය එච්.එම්. ජයවර්ධන නිර්මාණය කළේ. ඒ මියුරු සංගීතයෙත් පදමාලාවෙ තිබෙන සාරවත් බවත් නිසා මේ ගීතය රසිකයන් අතරට යන්න ඇති කියලයි මං හිතන්නෙ.
ශාන්ත කුමාර විතාන


