එෆ්.අස්ලම්
නැවතත් ආයුධ සන්නද්ධ ත්‍රස්ත අරගලයකට යාම මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අරගලයක් කිරීම සිය දේශපාලන ස්ථාවරය බවත් පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයින්ගේ පක්ෂයේ නායක කන්දසාමි ඉන්බරාසා මහතා සදහන් කරයි.
එමෙන්ම දකුණේ සිංහල ජනතාව අතර වැරදි ප්‍රචාර ගෙනයමින් සිංහල දෙමළ ජනාතාව අතර ගැටුම් නිර්මාණය කිරීමට උත්සහා කරමින් දේශපාලන වාසි බලාපොරොත්තු වන ෆොන්සේකා, විමල් වීරවංශ වැනි දේශපාලකයින් අත්අඩංගුවට ගෙන පුනරුත්තාපනය කළ යුතු බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.
‘‘කළුකොටි දින සැමරුම් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තෙ නැහැ. ඊට තහංචි වැටුනෙත් නැහැ. ඒ පිළිබද කිසිදු ප්‍රකාශයක් රජය විසින් සිදුකලෙත් නැහැ. මේ සැමරුම් අපි සිදුකළේ රහසිගතව නොවෙයි. ආරක්ෂක අංශ ඒ ස්ථානවල සිටියා . ඒ වගේම කළු කොටිදින සැමරුම් සිදුවූ කිසිදු ස්ථානයක කිසිදු ත්‍රස්ත ක්‍රියාවක් හෝ කිසිදු කලබලයක් සිදුවුනෙත් නැහැ.
රජය පුනරුත්තාපනය කළ හිටපු කොටි සාමාජිකයින් වශයෙන් පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයින්ගේ පක්ෂය විදිහට තමයි අපි මේ සැමරුම් සිදුකළේ. හිටපු කොටි සාමාජිකයින් වූ අපි ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට පුනරුත්තාපනය වෙලා ආයුධ සන්නද්ධ අරගල මුළුමනින්ම ප්‍රතික්ෂේප කරල ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අරගලයක් කරන්න මැතිවරණ කොමිසම ඉදිරියේ සහතික වෙලා ලියාපදිංචි වෙලයි ඉන්නේ.
දකුණේ සිටින අන්තවාදී පාර්ශ්වයන් සිංහල ජනතාව අතරට වැරදි ප්‍රචාරයන් ගෙනයනවා. එතුළින් ඔවුන් නැවතත් සිංහල - දෙමළ අරගලයක් නිර්මාණය කරල රජයද අවුල්සහගත කරමින් දේශපාලන වාසි ගැනීමට උත්සහා කරනවා.එසේ කටයුතු කරන සරත් ෆොන්සේකා, විමල් වීරවංශ වගේ අය මුලින්ම අත්අඩංගුවට අරන් පුනරුත්තාපනය කරන්න ඕනෑ.
අප මේ රටේ වෙසෙන ශ්‍රීලාංකික පුරවැසියන්. මියදුනු අපගේ ඥාතී හිතමිත්‍රාදීන් වෙනුවෙන් පූජාවන් සිදුකලා කියල රටේ නීතිය හා සාමය කඩවෙන්නෙ කොහොමද. අප පුනරුත්තාපනය වෙලයි සමාජගත වෙලා ඉන්නෙ. අපව තව තවත් ත්‍රස්තවාදීන් කියල කතුරෙන් අනින එක පිළිගන්නෙ කොහොමද කියල දකුණේ සිංහල ජනතාව තමයි කියන්න ඕන. එහෙම බලනවා නම් එල්.ටී.ටී.ඊ සංවිධානය සමග ජිනීවා දක්වා සාකච්ඡා 22ක් කරපු සියළු පාර්ශවයනුත් ත්‍රස්තවාදීන් තමයි. ඔවුන්වත් අත්අඩංගුවට ගත යුතුයි නේ.‘‘