සන්ධානය ජාතිවාදි ගිනි අවුළුවනවා


වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ට වසර 30ක් යුද්ධ කර ලබාගැනීමට නොහැකි වූ ඊළම ආර්.සම්බන්දන් මහතා ප‍්‍රධාන දෙමළ ජාතික සන්ධානය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයකින් ලබාගැනීමට හදන බවට එක්සත් ජනතා නිදහස් සන්ධානය ගෙන යන ප‍්‍රචාර විහිළුවක් යැයි බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී හා එක්සත් ජාතික පෙරමුණේ කළුතර දිස්ත‍්‍රික් අපේක්‍ෂක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අද (10) මාධ්‍ය හමුවක් අමතමින් පැවුසවේය.

ඊළාම් සිතියම සහිත පුවත්පත් දැන්වීම් පළ කරන එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනතාව අතර නැවතත් බෙදුම්වාදී අදහස් ඇති කරමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.

දේශපාලන වාසි තකා උතුරේත් ජාතිවාදය පතුරුවමින් සම්බන්දන් මහතා කරන දේම මහින්ද රාජපක්‍ෂ මහතා දකුණේ කරමින් සිටිනවා යැයි කී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා රට බෙදෙන්නේ එවැනි දේවලින් යැයි ද කීවේය.