සන්ධාන මන්ත්‍රිනියගේ ප්‍රකාශයෙන් ඇඹිලිපිටිය සභාව උණුසුම්


අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර
 
යුද සමයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවලදී රජයේ හමුදාව එම ප්‍රදේශ වල ජනතාව සමූල ඝාතනය කළ බවට ඇඹිලිපිටිය නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත්‍රීනි ලසන්ති ලක්මිණී මහත්මිය අද (18) පැවති නගර සභා රැස්වීමේ දී කළ ප්‍රකාශයකින් සභාව උණුසුම් වි ගියේය.

 
ශ්‍රීලංකා පොදුජන පෙරමුණට බලය හිමි ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති ලලිත් ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේ මෙම තත්ත්වය ඇතිවිය.
 
නාගරික මන්ත්‍රී කේ.රුවන් පතිරණ මහතා වත්මන් රජයේ අමාත්‍යවරයෙක් සහ රජයේ මාධ්‍ය ප්‍රකාශක වු රාජිත සේනාරත්න මහතා රජයේ අරක්‍ෂක හමුදාවන් ගැන කළ ප්‍රකාශය හෙළා දිකිමින් ගෙනා යෝජනාවක් සම්බන්‍ධයෙන් අදහස් දක්වන අතරතුරදි ලසන්ති ලක්මිණී මහත්මිය පැවසුවේ රජයේ ආරක්‍ෂක හමුදා යුද්ධයේ දී දෙමළ ජනයා සමූළ ඝාතනය කළ බව සත්‍යයක් බවයි.
 
පහනක් දැල්වීමට දෙමළ ජනතාවට සාදාචාරාත්මක අයිතියක් ඇති බවත් අවි ආයුධ අතට ගත් යම් කණ්ඩායමක් ප්‍රජාතන්ත්‍රවාදයට එන්න කැමතිනම් ඊට සුදුසු වාතාවරණයක් සැකසිය යුතු බවත් ඇය කීවාය.
 
ඊට ඉඩදීම දෙමළ ජනතාවට කඬේ යාමක් යැයි පැවසීම වැරදි බව පැවසූ ඇය ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ ත්‍රස්තවාදී ක්‍රියාවන් නවත්වා දැන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ඇවිත් ඇතැයි ද කීවාය. ඒ නිසා දෙමළ සාමාජිකයනුත් පාලන තන්ත්‍රයට එකතු කරගෙන සංහිඳියාව ඇතිකරගෙන කටයුතු කළ යුතුයැයි පැහැදිලි කළාය.
 
මේ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ ත්‍රස්තවාදී ක්‍රියා නොකළ බවත් විප්ලවවාදී ක්‍රියා කළ බවත් එම පක්‍ෂයේ සභිකයා පෙන්වා දෙන අතරතුර ඇය ජනතා විමුක්ති පෙරමුණ ත්‍රස්තවාදී ක්‍රියා කළ බවට සඳහන් ප්‍රකාශය ඉල්ලා අස්කර ගත්තාය.
 
ඒ අවස්ථාවේ හමුදා සාමාජිකයන්  උතුරු නැගෙනහිර ජනතාව සමූල ඝාතනය කළ බවට පැවසූ ප්‍රකාශයත් ඉල්ලා අස්කරගන්නැයි සභාවේ සභිකයෝ ඇයට බල කළහ. ඒහෙත් ඒ අවස්ථාවේ ඇය පැවසුවේ සමුල ඝාතනයක් සිද්ධ වුණානේ යනුවෙනි. ඇය සිය ප්‍රකාශය ඉල්ලා අස්කර නොගත්තාය.
 
ඇඹිලිපිටිය නගර සභාවේ මුලු සභික සංඛ්‍යාව 13කි. ඉන් අට දෙනෙක් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ය. 3ක් එක්සත් ජාතික පක්‍ෂයේය. ජනතා විමුක්ති පෙරමුණට සහ එක්සත් ජනතා නිදහස් සංධානයට එක් සභිකයකු බැගින් හිමිය.
 
මේ උණුසුම් තත්ත්වය සභාව තුල ඇතිවදේදී සභාව ඉදිරිපිට යුද ජයග්‍රණයේ නවවෙනි සැමරුම සමරමින් සාමාන්‍ය ජනතාවට කිරිබත් සංග්‍රයක් ද පැවැත්විනි.