සන්ධාන ජාතික ලැයිස්තු පෙත්සම විභාගයට


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන්  පාර්ලිමේන්තුවට පත්ව සිටින මන්ත්‍රීවරුන් ගේ මන්ත්‍රී ධූර බලරහිත කරන ලෙස ඉල්ලා  මහජන එක්සත් පෙරමුණ  උපසභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා ගොනුකළ ඡන්ද පෙත්සම විභාගයට ගැනීමට තීරණය කළ අභියාචනාධිකරණය ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට දෙසැම්බර් 11 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද පෙත්සමේ වගඋත්තරකරුවන්ට අද(23)නියෝග කළේය.

අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී.නවාස්  මහතා ඉදිරියේ අද (23)මෙම පෙත්සම කැඳවිණි.

මැතිවරණ කොමසාරිස් ,සන්ධානයේ හිටපු ලේකම් සුසිල් ප්‍රේමජයන්ත ,එම සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ඇතුළු 14 දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් වෙති.මහජනතාව විසින් ප්‍රතික්ෂේප කළ අපේක්ෂකයින් නැවත ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම  මෙරට ඡන්දදායකයන් ගේ සර්ව ජන ඡන්ද බල අයිතිය හෑල්ලුවට ලක් කිරීමක් මෙන්ම උල්ලංඝනය කිරීමක්  බවද පෙත්සම්කරු සිය පෙත්සමින් කියා සිටී.