සන්ධ්‍යා එක්නැලිගොඩගේ අභියාචනය සලකා බැලීම 22 දා


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

 

අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳට බැන වැදීමේ චෝදනාවට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හෝමාගම මහාධිකරණයෙන් පනවා ඇති අත්හිටුවීමේ සිර දඬුවම අනිවාර්ය සිර දඬුවමක් බවට පරිවර්තනය කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් ගොනු කර ඇති අභියාචන පෙත්සම මෙම මස 22 වැනිදා සලකා බලන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) නියෝග කළේය.

එම පෙත්සම  සිසිර ද ආබෲ, මුර්දු ප‍්‍රනාන්දු සහ ගාමිණි අමරසේකර යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ කැඳවනු ලැබූ අතර එහිදී පෙත්සම සළකා බැලීම මෙදිනට කල් තැබිණි.

මෙම පෙත්සම මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් ගොනු කර ඇත.

පෙත්සමේ මෙසේද සඳහන් වේ.

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් වීම පිළිබඳ නඩුව හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කාරියට බැන වැඳීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම අධිකරණයෙන් සය මසක සිරදඬුවමක් නියම කෙරිණි.

ඊට එරෙහිව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අභියාචනයක් හෝමාගම මහාධිකරණයට ඉදිරිපත් කළේය. එය සළකා බැලූ මහාධිකරණය අදාළ දඬුවම අත්හිටවූ සිර දඬුවමක් බවට පරිවර්තනය කිරීමට නියෝග කළේය.

මෙය නීතියට පටහැනි බැවින් අදාළ අත්හිටවූ සිරදඬුවම අනිවාර්ය සිරදඬුවමක් බවට පත් කිරීමට නියෝග කරන ලෙස ද පෙත්සම්කාරිය සිය පෙත්සමින් ඉල්ලා ඇත.