(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
පෞද්ගලික සමාගමක් මගින් මෙරටට ගෙන් වූ විදේශ රටක නිෂ්පාදිත ‘ආයුර්වේද කැස්ස පැණියක්’ සම්බන්ධයෙන් සතුන් යොදාගෙන කළ යුතු පරීක්‍ෂණයකට ආයුර්වේද ශික්‍ෂණ රෝහලට පැමිණි රෝගීන් පිරිසක් යොදාගෙන කර ඇති බව කෝප් කමිටුව හමුවේ අනාවරණය විය.
අදාළ කැස්ස පැණිය වෙළඳපලට නිකුත් කිරීමට පෙර කළ යුතු මෙම සායනික පරීක්‍ෂණය 2016 වසරේදී සිදුකර ඇත. එය සිදුකර ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ මහාචාර්යවරුන් දෙදෙනකු වන අතර ඉන් එක් අයෙකු කැස්ස පැණිය ගෙන්වූ සමාගමේ උපදේශකවරයකු ලෙස කටයුතු කරන බව ද කෝප් කමිටුව හමුවේ හෙළි විය.
මේ සම්බන්ධයෙන් වහාම ස්වාධීන පරීක්‍ෂණයක් කරන්නැයි කෝප් කමිටුවේ සභාපති, සුනිල් හඳුන්නෙත්ති මහතා නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කළේය.
මේ බව අනාවරණය වූයේනගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ප‍්‍රියන්ත මායාදුන්නේ, ප‍්‍රධාන ගණකාධිකාරී තුෂාර මහානාම යන මහත්වරුන් සහ කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ අධ්‍යක්‍ෂවරිය ඇතුළු පිරිසක් කෝප් කමිටුව හමුවට කැඳවා තිබූ අවස්ථාවේදීය.
මෙවැනි විදේශයකින් ගෙන් වූ ඖෂධයක් සම්බන්ධ පරීක්‍ෂණයකදී මුලින්ම එය ලබාදිය යුත්තේ සතුන්ට බව කෝප් කමිටුව හමුවේ පෙනී සිටි දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ප‍්‍රධානීහු ද පැවසූහ.
එමෙන්ම මෙවැනි පරීක්‍ෂණයක දී දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ආචාරධර්ම කමිටුවේ නිර්දේශයන් සහිතව කොළඹ විශ්ව විද්‍යාලයේ සනාතන සභාව මගින් අනුමැතිය ලබා ආයුර්වේද වෛද්‍ය රෝහලින්ද අනුමැතිය ලබාගත යුතු වුවත් මෙම කැස්ස පැණිය වෙනුවෙන් ආයුර්වේද වෛද්‍ය රෝහලේ අනුමැතිය ලබාගෙන නැතැයි ද මෙහිදී සඳහන් විය.
කැස්ස පැණිය ගෙන්වූ සමාගමේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කරන මහාචාර්යවරයා එම ආචාර ධර්ම කමිටුව ද නියෝජනය කරන බව කෝප් කමිටුව හමුවේ අනාවරණය විය.
එම පරීක්‍ෂණය වෙනුවෙන් දේශීය වෛද්‍ය විද්‍යායතනයට ලැබිය යුතු ආදායමත් ද එම මහාචාර්යවරයාගේ නමින් ගෙන ඇති බව විගණකාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවේ සඳහන් වන්නේ යැයි කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා කීවේය.
‘‘කැස්ස පැණිය” වෙළෙඳ පොලට නිකුත් කරන විට ප‍්‍රචාරණ කටයුතු වෙනුවෙන් 2018 වසරේ පුවත්පත්වල පල කර ඇති වෙළෙඳ දැන්වීම්වලද ‘දේශීය වෛද්‍ය විද්‍යායතනය විසින් සායනිකව තහවුරු කර ඇති බව සදහන් කර තිබෙන බව ද කෝප් කමිටු සභාපතිවරයා පැවසීය.
මේ සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා සිදුකළ විමසීමේදී දේශීය වෛද්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂවරිය සදහන් කළේ 2016 වසරේදී මෙවැනි සිදුවීමක් සිදුව ඇති බවත්, තමාට ඒ බව සඳහන් විගණකාධිපති වාර්තාව ලැබුණු පසු ඒ සම්බන්ධයෙන් සොයා බලා විමර්ශනය කිරීම සදහා කමිටුවක් පත්කළ බවත්ය.
එම කමිටුවේ අවසන් වාර්තාව තවම සකස් වී නැතැයි ද ඇය කීවාය.
දැන්වීම් පළ කිරීමේදී දේශීය වෛද්‍ය විද්‍යායතනය විසින් සායනිකව තහවුරු කර ඇති බව සඳහන් කිරීම සම්බන්ධයෙන් තමා අදාළ සමාගයෙම් විමසීමක් කළ බවත් එය ඉල්ලා අස්කරගන්නා බව ඔවුන් තමාට ලිඛිතව දැනුම්දීමක් කළත් යළිත් නිවැරදි කර පුවත්පත් දැන්වීමක් පළ නොකළ බව ද අධ්‍යක්‍ෂවරිය පැවසුවාය.

