සංගීත විශාරද මනෝජ් පීරිස්
සංගීත විශාරද මනෝජ් පීරිස් අද දවසේ සිටින කාර්ය බහුල සංගීත ශිල්පියා ලෙස හැඳින්විය හැකිය. වෘත්තියෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මාණ්ඩලික අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කරන මනෝජ් රූපවාහිනියේ විකාශය වෙන සංගීත වැඩ සටහන් ගණනාවක සංගීත අධ්‍යක්‍ෂවරයා මෙන්ම ශිල්පීන් සම්බන්ධීකරණය ද සිදු කරනු ලබයි. ඒ අතරේ මෙරට සංගීත ප‍්‍රසංගවලට මෙන්ම විවාහ මංගල්‍ය උත්සවවලට ද ඔහු නැතුවම බැරි ශිල්පියෙක් බවට පත්ව සිටී. මේ සියලූ කරුණු ගැන මනෝජ් පසුගියදා අප සමඟ කළ කතාබහක දී හෙළි කරන්නට විය. ‘‘ඇත්තටම මම සතියේ දවස් 7 තුළ වැඩ කරන කාර්ය බහුල සංගීත ශිල්පියෙක් වෙලා. ඒත් ඒ සියලූ කටයුතු නිවැරැදි කළමනාකරණයකින් සිදු කරන හින්දා ප‍්‍රශ්නයක් නෑ. මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ හැම ඉරිදාවකම විකාශය වන ‘‘සංහිඳ’’ වැඩ සටහන මා සතුටින් සංගීතය සපයන වැඩ සටහනක්. එයින් මා ලොකු තෘප්තියක් ලබනවා. ජීවතුන් අතර නැති ගායකයන්, සංගීතවේදීන්, පද රචකයන් පිළිබඳව අනුස්මරණය කරන මේ වැඩ සටහනේ සංගීත අධ්‍යක්‍ෂණයෙන් මා ලබන සතුට අපමණයි. ඒ වගේම දෙරණ නාලිකාවෙන් හැම ඉරිදාවකම විකාශය වෙන ‘‘ලිට්ල් ස්ටාර්’’ වැඩ සටහනත් මා සතුටින් කරන දෙයක්. අනෙක් රියැලිටි වැඩ සටහන්වලට වඩා මෙය වෙනස්. මෙහි දී අවු. 8-12ත් අතර දරුවන් අපේ ජන ගී, ශාස්ත‍්‍රීය ගී, සරල ගී නාඩගම් ගී, කණ්ඩායම් ගී, වේදිකා නාට්‍ය ගී, චිත‍්‍රපට ගී යන හැම දෙයක් ගැනම හොඳ දැනුමක් ලබා ගන්නවා. ඔවුන් ඒ සියලූ ගී ගායනා කරනවා. මෙයින් රටට වැඩක් ඇති උගත් දරුවෙක් තමයි බිහි වෙන්නේ. එයට මම හරි සතුටින් සංගීතය සපයන්නේ. ස්වාධීන රූපවාහිනියේ ‘චැට් ඇන්ඞ් මියුසික්’’ වැඩ සටහනත් ටී.එන්.එල්. රූපවාහිනියේ ‘‘ASP පැදුරු සාදය’’ වැඩ සටහනත් මා සතුටින් කරන තවත් නිර්මාණ දෙකක්. ‘‘ASP පැදුරු පාටිය’’ මා සංගීතවත් නොකළාට එහි ශිල්පීන් සම්බන්ධීකරණය හා මගේ වාදක මණ්ඩලයක් යොදවා තිබෙන්නේ. ඔය අතරේ හොඳ ගී ප‍්‍රසංග සංගීතවත් කරන්න මට අවස්ථාව ලැබෙනවා. ඒ විතරක් ද? විවාහ මංගල්‍ය උත්සව සෑහෙන්න ලැබෙනවා. මා කළ විවාහ උත්සවවල ප‍්‍රමාණය මතකත් නෑ. කලාකරුවන්ගේ විවාහ උත්සව රැසක් මා අතින් සංගීතවත් වුණා. කලාකරුවන්ගේ විවාහ මංගල්‍ය සංගීතවත් කළත් තවම මගේ විවාහය නම් සිදු වුණේ නෑ. තවම තනිකඩව තමයි ඉන්නේ. ආදරය අවශ්‍යයි. එහෙම නැත්නම් ජීවත් වෙන්න බැහැ. ආදරයෙන් මම ගොඩක් පොහොසත් කෙනෙක්. සංගීතය වෙනුවෙන් මගේ කාලය කැප වෙන හින්දා මට ජීවිතයේ පපාළුවක් තනිකමක් දැනෙන්නේ නැති තරම්’

