සති දෙකේ දරුවා 50,000 කට විකුණලා


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

සති දෙකක් වයසැති තම දරුවා රුපියල් 50,000ක මුදලකට විකුණු බව කියන මවක් මහබාගේ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවාය.

මේ සම්බන්ධයෙන් සැකකාරියගේ සැමියා බව පැවසෙන තරුණයකුද දරුවා විකිණීමට අතරමැදියෙක් ලෙස කටයුතු කළ අයකුද අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

බිළිදා මාතලේ ප්‍රදේශයේ දරුවන් නොමැති කාන්තාවකට විකුණා ඇති බව අත්අඩංගුවට ගත් සැකකාරිය හා සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවිණි යැයි පොලිසිය කියයි.

එම බිළිඳා මිලදී ගත් කාන්තාව ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.

පස්සර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වැලිසර ප්‍රදේශයේ නිවසක කාමරයක් කුලියට ගෙන තරුණියක් සමග  එහි රැඳී සිටිමින් වත්තල ප්‍රදේශයේ කර්මාන්තශාලාවක සේවය කර තිබෙන බවත් ඇය රාගම රෝහලේදී දරුවකු ප්‍රසූත කර ඇති අතර නිවෙස් හිමියා ඒ දරුවා කෝ කියා කාන්තාවගෙන් විමසූ අවස්ථාවේ කාමරයේ නිදාගෙන සිටින බව මුලින්ම ප්‍රකාශ කර තිබෙන බව පොලිසිය කියයි.

නිවසේ අයිතිකරු තවත් දවසක් දරුවා කෝ කියා කාන්තාවගෙන් විමසූ අවස්ථාවේ සැමියා දරුවා රැගෙන ගිය බව ඇය කියා ඇතැයි පොලිසිය කියයි.

නිවසේ අයිතිකරුට ඇතිවූ සැකයක් මත මේ බව මහබාගේ පොලිසියට පැමිණ පැමිණිලි කිරීමෙන් පසු මුලින්ම කාන්තාව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සිද්ධියේ සුලුමුල හෙළිකරගෙන කාන්තාවගේ සැමියා සහ දරුවා විකිණීමට අතරමැදියෙක් වශයෙන් කටයුතු කළ පුද්ගලයා ද අත්අඩංගුවට ගනු ලැබූහ.

කාන්තාව තරුණයා සමග නිත්‍යානුකූලව විවාහවී නොමැති බවත් දරුවකු ප්‍රසූත්‍ර කිරීම දෙපාර්ශ්වයෙන්ම වසං කිරීමේ අරමුණින් මෙවැන්නක් කර තිබෙන බවත් පොලිසිය කීය.

නිවසේ අයිතිකරු කාමරයක් කුලියට ලබාගත් අවස්ථාවේ කාන්තාව තමා සමග සිටින්නේ විවාහක සැමියා යැයි පවසා තිබෙන බව පොලිසිය පවසයි.

බස්නාහිර උතුරු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතාගේ අධීක්ෂණය යටතේ කැලණිය කොට්ඨාශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපාලි ජයසිංහ සහ සහකාර පොලිස් අධිකාරී එච්.කේ. ආර්. ඒ. ගුණරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත මහබාගේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. ජේ. බණ්ඩාර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.