හිටපු මන්ත්‍රීවරුන් වන සජින් වාස් ගුණවර්ධන, දුමින්ද සිල්වා සහ මර්වින් සිල්වා මහත්වරුන්ට නාම යෝජනා නොදීමට මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ පාර්ශ්වයෙන් පැනවූ කොන්දේසිවලට මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් එකඟ වීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි කියයි.
එකම ලැයිස්තුවකින් දෙපාර්ශ්වය තරඟ වැදීම සඳහා ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලට සන්ධාන නාමයෝජනා ලැයිස්තු සකසා ඇතැයි ද එම ආරංචි සඳහන් කරයි.
විජයරාම මාවතේ පිහිටි හිටපු මන්ත්‍රීවරයකුගේ නිවසේ අද සුසිල් ප්‍රේමජයන්ත, බැසිල් රාජපක්ෂ, ඩිලාන් පෙරේරා ඇතුළු පිරිසක් විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ.
සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා සහ ඩිලාන් පෙරේරාගේ නම් ජාතික ලැයිස්තුවට ඇතුළු කිරීමට ද තීරණයක් ගෙන ඇත.
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාපති ප්‍රසන්න සෝලංග ආරච්චි, කැලණිය ප්‍රාදේශීය සභාපති ප්‍රසන්න රණවීර, බස්නාහිර පළාත් මන්ත්‍රිනී සමන්මලී කලසූරියගේ නම් ද නාමයෝජනා ලැයිස්තුවට ඇතුළු වී නැතැයි දැනගන්නට තිබේ.
දැනට සකසා ඇති පොදු ලැයිස්තුවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ නම් ඇතුළත් කර නැත. නාමයෝජනා සකසන අවස්ථාව වන විටත් ඔවුන් දෙදෙනාගේ ඇමෙරිකා පුරවැසි භාවය අත් නොහැරීම ඊට හේතුවයි.
ශ්‍රීලනිපයේ නාමයෝජනා අවසන් වශයෙන් ජනපති ප්‍රමුඛ කමිටුවකට ඉදිරිපත් කරන අතර එහි දී තවත් නම් කිහිපයක් ප්‍රතික්ෂේප වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද විශ්වාස කටයුතු ආරංචි කියයි.

