සජිත් හෙට ජනපති කොමිසම හමුවට


(තිළිණි ද සිල්වා)

මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සඳහා අවිධිමත් පත්වීම් ලබා දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වන පැමිණිල්ලට අදාළව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා හෙට (23) ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි ලබා දීමට නියමිතය.

ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් ඒකකය හමුවේ හෙට (23) පෙනී සිට ප‍්‍රකාශයක් ලබා දෙන්නැයි එම කොමිසම අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාට නොතීසි නිකුත් කරනු ලැබ තිබූ අතර ඒ අනුව හෙට (23) පෙරවරු 9.30ට කොමිසමේ පොලිස් ඒකකයට පැමිණ ප්‍රකාශ  ලබා දීමෙන් පසුව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සාක්කි ලබා දෙන බව එම කොමිසම සඳහන් කරයි.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස  මහතාට ඉකුත් 20 වැනිදා ජනාධිපති කොමිසම හමුවේ සාක්කි ලබා දෙන ලෙස නොතිසි නිකුත් කළද එදිනට ඔහුට පැමිණීමට නොහැකි බව නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා මාර්ගයෙන් කොමිසමට දැන්විණි යැයි එහි ප‍්‍රකාශකයෙකු ලංකාදීපයට පැවසීය.

එසේම එම පැමිණිල්ලට අදාළව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති සාගර පලන්සූරිය මහතාටද කොමිසමේ හමුවේ ඉකුත් 20 වැනිදා සාක්කි දුන් බවද  එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ‘‘කළමනාකාර සහාකාර ’’ තනතුරු සඳහා අවිධිමත් ආකරයෙන් සේවකයින් පිරිසක් බඳවා ගෙන ඇතැයි සඳහන් කරමින් එම අධිකාරියේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය විසින් ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබිණි.

එම පැමිණිල්ල විභාගයට ගැනීමට කොමිසම ඉකුත්දා  තීරණය කළ අතර ඒ අනුව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය බාර අමාත්‍යවරයා ලෙස අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම සිදු කෙරෙන බව කොමිසම සඳහන් කරයි.

එම අධිකාරියේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ගොනු පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වූයේ නිවාස සංවර්ධන අධිකාරියේ ‘‘කළමනාකාර සහාකාර ’’ තනතුරු සඳහා අවිධිමත් ලෙස බඳවා ගනු ලැබූ සේවකයින්ගේ සියයට 95 ක්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වන බවය.