සජිත් රටට ඇති එකම විකල්පයයි


(බදුල්ලේ පාලිත ආරියවංශ)
සජිත් ප්‍රේමදාස මහතා නොමැතිව දේශපාලනය කිරීමේ තේරුමක් නැති බවත්, අවුරුදු 52ක තරුණයෙක් වන ඔහු රටට තියෙන එකම විකල්පය විය හැකි බව තමා විශ්වාස කරන බවත්  විදේශ රැකියා, විදුලි සංදේශ හා ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා බදුල්ලේද අද (27)  පැවැති මාධ්‍යහමුවකදී පැවසීය.

‘‘එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා  නම්කළ යුතු බව මම අගමැති තුමාටත් පැහැදිළි කළා. අපි ජනතාව ඉදිරියේ යම්කිසි  ප්‍රමාණයට හෝ පරිහානියට ලක්ව තිබෙන්නේ සමහර තීන්දු තීරණ නොගත් නිසාත් සමහර නායකයන්ගේ ක්‍රියා කළාපය නිසාත් කියා මා හිතනවා.

ඒ වගේම අපි කරපු හොඳ දේවල් මාකට් කරන්න අපිට බැරිවුණා. මේක ඒ යාන්ත්‍රණය තුළ වූ පසු බැසීමක්. අපි සෑම පාසැල් දරුවෙකුටම කිරි වීදුරුවක් දෙනවා. අධ්‍යපන සංවර්ධනයට,  සෞඛ්‍ය සංවර්ධනයට  අති විශාල මුදලක් වැය කර තිබෙනවා. මේවා හරියට ප්‍රකාශ නොවුනේ නායකත්වයේ යම් යම් අඩුපාඩු නිසයි.

අද පක්ෂයට වැඩකරපු සමහර පාක්ෂිකයන් සමහර තැන්වල කඩාවැටිල තියෙනවා. ඒ නිසා මා විශ්වාස කරනවා අයියා අගමැති මල්ලී ජනාධිපති, එහෙම  නැතිනම් මල්ලී අගමැති අයියා ජනාධිපති වෙන්න ඕනෑ රටක් නොවෙයි මේක...

අලුතින් දකින්න පුළුවන්, අලුතින් හිතන්න පුළුවන් කිසිතැන වැරැද්දක් නැති නායකයෙක් ඉදිරියට ගේන්න පුළුවන් නම් පක්ෂය හා රට යම් තැනකට ගේන්න පුළුවන් යැයි තමා විශ්වාස කරනවා‘‘ යැයි ඇමතිවරයා  පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධව පක්ෂය තුළම සටනක් දියත් වෙනවා නේදැයි විමසූවිට  හරින් ප්‍රනාන්දු මහතා පැවසුවේ එය හුදකලා සටනක් බවයි.

ඒ පිළිබදව ඇමැතිවරයා මෙසේද කීවේය.

‘‘පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී  කාගේත් ඉල්ලීම වූයේ සජිත් ප්‍රේමදාස  මහතා ජනාධිපති අපේක්ෂකයා විය යුතු බවයි.  වෙනත් නමක්, කිසිම නමක් එහිදී යෝජනා වූයේද නැත. එසේ ඉදිරිපත් වූයෙන් නම් සලකා බැලීමට ඉඩ තිබූණා..  ඒකමතිකව සියළු දෙනා කතාකලේ සජිත් ප්‍රේමදාස  මහතා  ගැන  පමණයි. මේ අවස්ථාවේ ජයග්‍රහණය උදෙසා සියළු දෙනා ඕනවට වඩා කලබල නොවී   ඒකරාශිව කටයුතු කරන්න ඕනෑ...‘‘ යැයි අවධාරණය කළේය .