
( තිලකරත්න දිසානායක.)
මිල වැඩි කිරීමෙන් පසුව අලෙවි කිරීමේ අරමුණින් කඩවත ප්‍රදේශයේ ගබඩාවක සගවා තිබූ තිරිගු පිටි කිලෝ 1,100 ක් සහිත මිටි 21 ක් පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය අද(02) සිය බාරයට ගත්තේය.
පාරිභෝගික සේවා අධිකාරියේ අනුමැතියකින් තොරව තිරිගු පිටි මිල කිලෝවක් රුපියල් 18 කින් වැඩි කිරීමට තිරිගු පිටි ආනයන සමාගමක් කටයුතු කරමින් සිටියදී වැඩි මිලට අලෙවි කිරීම පිණිස පිටි තොගයක් ගබඩා කොට ඇති බවට ලද තොරතුරකට අනුව පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතාගේ උපදෙස් පරිදි අදාල ස්ථානය පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගෙන තිබේ.
අධිකාරියෙහි ගම්පහ දිස්ත්‍රික් විමර්ශන අංශ නිලධාරීන් , තිරිගු පිටි ආනයනික සමාගමෙහි කඩවත ප්‍රදේශයේ නියෝජිතයාගේ අදාල ගබඩාව වෙත ගොස් විමසූ අවස්ථාවේ පිටි නොමැති බව එහි කළමනාකරු දැනුම් දීම මත කළ සොයා බැලීමේදී ලොරියක් තුල සහ ගබඩාවෙහි තිබී පිටි තොගය සොයා ගැනීමට හැකිවිය.


