සංහිඳියාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කරයි


(තරිඳු ජයවර්ධන සහ ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සංහිඳියාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළාය. ඇය මේ බව කීවේ එම ප්‍රතිපත්තිය ගැන දැනුම්දීම සඳහා පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

ජාතික සමගිය සහ සංහිඳියා කාර්යංශය (ඔනුර්) 2015 සැප්තැම්බර් මාසයේ පිහිටවනු ලැබූ අතර එහි සභාපතිනිය ලෙස කටයුතු කරන්නේ හිටපු ජනාධිපතිනියයි. රාජ්‍ය නිලධාරීන්, අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, පළාත් සභිකයන්, සිවිල් සාමාජ සාමාජිකයන් ඇතුළු පාර්ශව ගණනාවක් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ජාතික සමගිය සහ සංහිඳියා කාර්යංශයේ මෙහෙයවීමෙන් මෙම ප්‍රතිපත්තිය සකස් කර තිබේ.

සංහිඳියාව කියමින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් කරන බවට ඇතැමුන් චෝදනා කළ ද සත්‍ය වශයෙන්ම සිදු වන්නේ අනාගතයේ දී ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඒම වැළැක්වීමේ වැඩපිළිවෙළක් බව හිටපු ජනපතිනිය ප්‍රකාශ කළාය.

කිසිවෙකුටත් පහත් කොට සැලකීමකින් තොරව රටේ සියලු පුරවැසියන්ට සහ පුද්ගල කණ්ඩායම් සඳහා සම්පූර්ණ සිවිල් හා දේශපාලනික හිමිකම් සමානව ලබා දෙන බවට සහතික වීමට රජය විසින් සෑම ප්‍රයත්නයක්ම දැරිය යුතු බව ජාතික සංහිඳියා ප්‍රතිපත්තියේ සඳහන් වෙයි.

ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන අමාත්‍යංශය, ජාතික සහජීවනය පිළිබඳ සංවාද සහ රාජ්‍ය භාෂා අමාත්‍යංශය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා පුණරුත්ථාපන, නැවත පදිංචිකිරීම් සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යංශය සහ සංහිඳියාව පිළිබඳ යාන්ත්‍රණ සම්බන්ධීකරණය කිරීම සඳහා වන ලේකම් කාර්යාලය එක්ව මෙම ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතු බව ද යෝජනා කර තිබේ.