සංස්කෘතිය සහ හැදියාව පිරිහිලා - තෙවරප්පෙරුම


මුදිතා දයානන්ද
 
‘එදා පාසලත් පන්සලත් ජනතාවගේ හැදියාව, සංස්කෘතිය ගොඩනැගුවා. අද පන්සලත් පාසලත් දෙකම දියුණු වී තිබුණත් ජනතාවගේ හැදියාවත්, සංස්කෘතියත් දෙකම පිරිහිලා.‘ යැයි අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය  පාලිත තෙවරප්පෙරුම මහතා පැවසීය.
 
තෙවරප්පෙරුම මහතා මෙසේ පැවසූවේ   කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙලට සහභාගි වෙමිනි.
 
අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්  බී  නාවින්න මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර රංග ශාලාවේදී මෙම උත්සවය පැවැත්විණි.
 
රඹුකන සිද්ධාර්ථ හිමි, වැයිහේනේ පඤ්ඤාලෝක හිමි, මැදවච්චියේ විමලධම්ම හිමි, අයිරාංගනී සේරසිංහ, රෝහණ බැද්දගේ, සුගතපාල සෙනරත් යාපා, චන්ද්‍රාද සිල්වා වීරසිංහ, සුමන ආලෝක බණ්ඩාර, ආතර් යූ. අමරසේන, ශ්‍රියාණි අමරසේන, නිමල් ජයසිංහ, ටෝනි හසන්, බර්ටි ගුණසේකර, හේමශ‍්‍රිද අල්විස්, අනුලාද සිල්වා, හේමසිරි ලියනගේ, එච්වඞ් මල්ලවාරච්චි, චන්ද්‍රා කලූආරච්චි, සෝමපාල පෙරේරා, අයිරින්ද සිල්වා, කුලරත්න හෙට්ටිආරච්චි, චිත්‍රා වරකාගොඩ, චන්ද්‍රතුසාර කඳනආරච්චි, රැජිනි සෙල්වනායගම්, එන්. යු. මොහොමඞ් අමීන්, පී. හේමපාල, නිල් අලස්, ඩබ්. පී. පණීභාරත, කුමාරි පෙරේරා සහ ඩබ්. ඞී. ආරියසිංහ යන මහත්ම මහත්මින් ඇතුලූ හතලිස් දෙනෙක් මෙහිදී සම්මාන ලැබූහ.
 
මෙහිදි තවදුරටත් අදහස් දැක්වු තෙවරප්පෙරුම මහතා මෙසේද පැවසීය.
 
‘අද කලාවත් පිරිහීමට ලක්වෙලා. එයට මේ දේශාපලන ක්‍රමයත් ප්‍රධාන හේතුවක් වුණා. කලාවටත්, අධ්‍යාපනයටත් ජාතික ප‍්‍රතිපත්තියක් අවශ්‍යයි. අද අපේ තරුණ පරපුර යහපත් දේට සමාජයට සේවයක් කරන කලාවට යොමු වෙනවා වෙනුවට වෙනත් දේවල් වලට යොමු වී තිබෙනවා. මත්පැන්, මත්කුඩු, සහිත තැන්වලට තමයි අද අපේ තරුණයා ඇදී එන්නේ. අද ගම්වලටත් බාර් එකක්, රේස් බුකියක් නැතිව බැරි තත්වයක් ඇතිවී තිබෙනවා. මේ සමාජ පිරිහීමෙන් රට ගොඩගත හැක්කේද කලාව තුළින්මයි.‘