සංවර්ධන ව්‍යාපෘති නියමිත දිනට අවසන් නොකළොත් අසාදු ලේඛනයට



(තිළිණි ද සිල්වා)
 
කටුනායක ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති නියමිත දිනට අවසන් නොකරන කොන්ත්‍රාත් සමාගම් අසාදු ලේඛන ගතකර, ගෙවීම් අත්හිටුවන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගුවන් තොටුපළ බලධාරීන්ට අද (20) උපදෙස් දුන්නේය.
 
මෙම සංවර්ධන ව්‍යාපෘතිවල ඉදිරිකිරීම් සමාගම්වලට එම ඉදිකිරීම් අවසන් කිරීමට දිගින් දිගටම අමතර කාලය ලබා නොදෙන ලෙසද  ඇමතිවරයා එම බලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දී ඇත.
 
කටුනායක ගුවන් තොටුපළේ ඉදිරි සංවර්ධන කටයුතුවල ප්‍රගතිය විමසා බැලීම සදහා සංචාරක අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව කීය.
 
කටුනායක ගුවන් තොටුපළේ දෙවන ධාවන පථය හා මගී පර්යන්තය සංවර්ධනය සඳහා ගෙන ඇති පියවර මෙහි දී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ. ඇමැති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී පෙන්වා දුන්නේ කටුනායක ගුවන් තොටුපළේ විශාලතම ව්‍යාපාතිය වන මෙම ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට රජය අපේක්ෂා කරන බවය. මෙම ව්‍යාපෘතිය යටතේ ගුවන් තොටුපළ නව මගී පර්යන්තයක් හා නව ගුවන් අංගනයක් ද ඉදිකිරීමට නියමිතය.
 
කටුනායක ගුවන් තොටුපළේ පහසුකම් ඇත්තේ වාර්ෂිකව ගුවන් මගීන් මිලියන 6 ක ගුවන් මෙහෙයුම් සඳහා පමණි. එහෙත් මේ වන විට කටුනායක ගුවන් තොටුපළ වාර්ෂිකව ගුවන් මගීන් මිලියන 10 යකට අධික පිරිසකගේ ගුවන් මෙහෙයුම් සිදුකරනු ලබයි. මේ තත්ත්වයට විසඳුමක් ලෙස ගුවන් තොටුපළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවැනි අදියර ආරම්භ කෙරුණු අතර එම ව්‍යාපෘතිය කඩිනමින් නිමකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ඇමතිවරයා මෙහි දී උපදෙස් දුන්නේය.
 
ගුවන් සේවා හා අපනයන සැකසුම් කලාප සංවර්ධන රාජ්‍ය ඇමති ඩී.වී.චානක මහතා ද මෙම සාකච්ඡාවට සහභාගී විය.