සංවර්ධන නිලධාරීහු කඩඉම් විභාගය කල් දමන්නැයි ඉල්ලති


බිඟුන් මේනක ගමගේ   
 
සංවර්ධන නිලධාරී කාර්යක්ෂමතා කඩඉම් විභාගය තැපැල් වර්ජනය අවසන්වීමෙන් පසුව පවත්වන්නැයි සංවර්ධන නිලධාරී සංගමය ලිපියක් යොමුකරමින් විභාග කොමසාරිස්වරයාගෙන් ඉල්ලා ඇත.

 
තැපැල් වර්ජනයෙන් පැන නගින ප්‍රායෝගික ප්‍රශ්න නිසා විභාගය කල්දමන බවට පෙර කළ නිවේදනය අවලංගු කර ජුනි 30 වැනිදා යොදාගත් පරිදිම විභාගය පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව අද තීරණය කර ඇතැයි ද මේ නිසා විභාග අපේක්ෂකයන් ප්‍රශ්න රැසකට මුහුණ පා ඇතැයි ද සංවර්ධන නිලධාරි සංගමය පවසයි.
  
තැපැල් වර්ජනයට විකල්පයක් ලෙස අදාල අයදුම්කරුවන් සඳහා ඔන්ලයින් ක්‍රමය හරහා අයදුම්පත් ලබාගැනීමට කටයුතු සලස්වා විභාගය පැවැත්වීමට තීරණය කර ඇති නමුත් සියලූම රාජ්‍ය ආයතනවල එම තාක්ෂණික පහසුකම් නොමැති යැයි චෝදනා කරන එම සංගමය විභාගයට දින හතරක් ඉතිරි කර මෙසේ නිවේදනය කිරීමෙන් යහපත් හා නිරවුල් මානසිකත්වයකින් විභාගයට පෙනීසිටීමට අපේක්ෂකයන්ට හැකියාවක්  නොලැබෙන්නේ යැයි ද කියයි.
 
 එම නිසා මෙම කරුණු සැලකිල්ලට ගෙන විභාගය කල්දමා තැපැල් වර්ජනය අවසන් වූ පසු විභාග දෙපාර්තමේන්තු කාලසටහන අනුව ආසන්නතම දිනයක මෙම විභාගය පැවැත්වීමට කටයුතු යොදන්නැයි එම සංගමය විභාග කොමසාරිස්වරයාගෙන් ඉල්ලා ඇත.