(අජිත්ලාල් ශාන්තඋදය)
වනආඥා පනත උල්ලංඝණය වන ලෙස පොතුවිල් මහේස්ත‍්‍රාත් එම්.අයි.එම්.වහබ්දීන් මහතා විසින් සිවිල් වැසියන් 17 දෙනෙකුට රදැල්ල සංරක්‍ෂිතයට ඇතුළු වී කුඹුරු වගා කිරීමට අවසරදීම සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පවත්වන ලෙස අගවිනිසුරුවරයාට සහ අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කිරීමට පියවර ගන්නා බව වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ලාහුගල අඩවි වන නිලධාරීවරයා විසින් පසුගිය 9 වැනි දා පොතුවිල් මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද බී අංක 6512 සිට 6528 දක්වා බී වාර්තාවල නම් සඳහන් සැකකරුවන් 17 දෙනාට නඩු කටයුතු අවසන් වන තෙක් සංරක්‍ෂිත වනාන්තරයේ සකස් කරන ලද කුඹුරුවල වගාකරන ලෙස මහෙස්ත‍්‍රාත්වරයා නියම කර තිබීමෙන් වන ආඥා පනත අමු අමුවේ උල්ලංඝණය වී ඇතැයි වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
2009 පෙරවාරි 09 දින අංක 1589/9 දරණ අතිවිශේෂ ගැසට් පත‍්‍රයෙන් සංරක්‍ෂික වනාන්තරයක් ලෙස නම් කළ කුඹුක්කන සංරක්‍ෂිතයේ රදැල්ල කොටසේ කුඹුරු සාදමින් සිටි සැකකරුවන් 17 දෙනෙක් වනසංරක්‍ෂණ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවන් පොතුවිල් මහේස්ත‍්‍රාත් හමුවට බී වාර්තා ඉදිරිපත් කරමින් ඔවුන් වන ආඥා පනතේ තුන්වැනි වගන්තිය යටතේ නම්කර ඇති සංරක්‍ෂිත වනාන්තරයක කුඹුරු සකසමින් සිටි බවට කරුණු දක්වා සිටියේය.
එහෙත් වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කරුණු දැක්වීම සැලකිල්ලට නොගෙන සැකකරුවන්ට එකී නඩුව අවසන් වනතුරු එහි ඇතුළු වී කුඹුරු කිරීමට මහෙස්ත‍්‍රාත් අවසර දුන්නේ ය.

