සංචාරකයන්ට පැනවූ නීති තවත් ලිහිල් වෙයි


(සුජිත් හේවාජුලිගේ )

විදේශයන්හි සිට පැමිණෙන සංචාරකයන් ඇතුළු පිරිස්වලට මෙතෙක් ක්‍රියාත්මක වූ සෞඛ්‍ය නීති  තවදුරටත් ලිහිල් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.

මේ අනුව සංචාරක තහනම් පනවා නොමැති රටවල සිට කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන මෙරටට පැමිණෙන පුද්ගලයින් පළමු පරීක්ෂණයෙන්  කොවිඩ් ආසාදිතයෙකු නොවන්නේ නම් එවැනි පුද්ගලයින්ට දින හතකට  පසුව දෙවන පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකිරීමට අවශ්‍ය නොවෙයි .

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පෙන්වාදෙන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇති බවය.

ඒ අනුව සංචාරක තහනමක් පනවා නොමැති රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්  පළමු පී.සී.ආර් පරීක්ෂණයෙන් ආසාදිතයෙකු ලෙස තහවුරු නොවන්නේ නම් ඔවුන්ට නිරෝධායනය නොවී බැහැරට යාමේ අවස්ථාව හිමිවන බවද  නව මාර්ගෝපදේශ සංග්‍රහයේ දැක්වේ.