සංචාරකයන්ට පහරදුන් පුද්ගලයන් අත්අඩංගුවට ගන්නැයි සංචාරක ඇමැති කියයි



 
 
(තිළිණි ද සිල්වා)
 
සංචාරක ව්‍යාපාරය මෙරට වැඩිම විදේශ විනිමය උපයන ක්ෂේත‍්‍රය බවට පත් කිරීම රජයේ අරමුණ වී තිබියදී මිරිස්ස හා තවත් ප‍්‍රදේශයක දී සංචාරකයින්ට හිරිහැර සිදු කළ පුද්ගලයින්ගේ තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීමේ වගකීම පොලිසිය ගත යුතු යැයි සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසීය.

මෙම සිද්ධිය ලොව පුරා කතා බහට ලක්වී ඇති බවත්, එය අපේ කීර්ති නාමයට හානිකර සිදුවීමක් නිසා මේ ගැන නිසි ක‍්‍රියාමාර්ග ගත යුතුව තිබෙන බවත් , එසේම සංචාරකයින්ට ලිංගික අතවර කිරීම්, පහරදීම් ආදියට සම්බන්ධ සියලූ දෙනා තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීම් සිදු කළ යුතු බවද සංචාරක අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කීය.

මිරිස්ස ප‍්‍රදේශයේ හෝටලයේ දී නෙදර්ලන්ත සහ බි‍්‍රතාන්‍ය ජාතිකයින් තිදෙනෙකුට හිරහැර සිදුවීම සම්බන්ධයෙන් සංචාරක අමාත්‍යාංශයේ  දී  පැවැති මාධ්‍ය හමුකට සහභාගී වෙමිනි. 

මෙම මාධ්‍ය හමුවට සහභාගී වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා අදහස් දක්වමින් කියා සිටියේ මේ සිද්ධිය සම්බන්ධයෙන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන සිටින බවත් හෙට (19) ඔවුන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන බවය.

මේ අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ඇසල වීරකෝන්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ සංචාරක අමාත්‍යාංශයේ සහ සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරීන්  පිරිසක් සහභාගී වුහ.