සංචාරක අමාත්‍යාංශය ඉදිරි ඇයවැය යෝජනා සකසයි


(තිළිණි ද සිල්වා)

ඉදිරි අයවැය ඉලක්ක කරගනිමින් සංචාරක අමාත්‍යංශය අයවැය යෝජනා සැකසීම ආරම්භ කර ඇත.

ඒ අනුව අමාත්‍යංශයට සම්බන්ධ සියලුම ආයතන ආවරණය වන පරිදි මීට අදාල යෝජනා සාකච්ඡා කර සකස් කෙරෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද (17) පැවසීය.

එහිදී සංචාරක ගුවන් සේවා ක්ෂේත්‍රය මෙන්ම සංචාරක ඉපයීම්, මල් හා පත්‍ර අපනයන ක්ෂේත්‍රයේ වර්ධනය කිරීමට අදාලව යෝජනා කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවද අමාත්‍යවරයා පෙන්වා දේ.

ණය නොවන විදේශ විනිමය ක්ෂේත්‍රයන් වර්ධනය කරගැනීම අරමුණු කරගනිමින් ඉදිරි අයවැය සඳහා සිය අමාත්‍යාංශයට අදාළව යෝජනා ඉදිරිපත් කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මුදල් අමාත්‍යංශය මගින් ඉදිරි අයවැය සඳහා අමාත්‍යංශ මට්ටමින් යෝජනා ලබා ගැනීම මේ දිනවල සිදුකරනු ලබයි.මේ මස 20 වන දිනට පෙර අදාල යෝජනා එවන ලෙස මුදල් අමාත්‍යංශය සියලුම අමාත්‍යංශ වලට දැනුම් දී තිබේ.

ඒ අනුව සංචාරක අමාත්‍යාංශයට අදාලව අයවැය යෝජනා ඉදිරිපත් කිරීම සඳහා මූලික සාකච්ඡාවක් අමාත්‍යාංශ ප්‍රධානීන් සමග zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට සැලසුම් කර ඇතැයි ද ඇමතිවරයා කීවේය.

වසංගත තත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසෙන ආර්ථිකයක් ගොඩනැගීම කෙරෙහි මෙවර අයවැයේදී වැඩි වශයෙන් අවධානය යොමු කෙරෙනු ඇතැයි ද රණතුංග මහතා විශ්වාසය පල කරයි.