සංචරණ සීමා තිබියදී වාහන සංචරණය විහිළුවක්


(සුජිත් හේවාජුලිගේ)

සංචරණ සීමා වැඩපිළිවෙළක් ක්‍රියාත්මකවෙද්දී පාරවල්වලට වාහන මේ ආකාරයට පැමිණීම විහිලුවක් බව වයිරසවේදය පිළිබඳ ප්‍රකට විශේෂඥයකුවන මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවැසීය.

පාරවල්වලට වාහන පැමිණීමෙන් එම සංචරණ වැඩපිළිවෙල කඩාකප්පල්වන බව කී මහාචාර්යවරයා මෙලෙස පැමිණෙන සෙනග අතරින් කිසියම් ආසාදිතයකු සිටියහොත් ඔහුගෙන් සමාජයේ විශාල පිරිසකට රෝගය බෝවිය හැකි යැයි ද සඳහන් කළේය .

සංචරණ සීමා වැඩපිළිවෙළක් සාර්ථක කර ගැනීමට නම් එය දින 14 ක අඛණ්ඩ සංචරණ වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක කළ යුතු බවත් වරින් වර සංචරණ සීමා ලිහිල් කිරීමෙන් ප්‍රතිඵල හීන වන බවත් තිස්ස විතාරණ මහතා අවධාරණය කළේය.

පවතින තත්වය යටතේ රට දින 14 ක පමණ කාලයක් සම්පූර්ණයෙන්ම වසා දැමිය යුතු බව පැවසූ මහාචාර්යවරයා එම කාල සීමාවේදී විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී ජනතාවට ආහාර ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවද ප්‍රකාශ කළේය.

දින 14 ක අඛණ්ඩ සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමෙන් වයිරසය පරිසරයෙන් නැති වී යන බවද ඔහු අනාවරණය කළේය.

සංචරණ සීමා ක්‍රියාත්මකවන කාලසීමාවේදී මේ රෝගයෙන් ගැලවීමට හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාව උපරිමයෙන් දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් රටපුරා ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ සඳහා මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මෙන්ම වෙනත් ප්‍රචාරක මාධ්‍යද යොදා ගත හැකි බවත් විතාරණ මහතා පැවසීය.

මුව ආවරණ පැළඳීම,පුද්ගල දුරස්ථභාවය පවත්වාගෙන යාම සහ විවිධ පෘෂ්ඨ ඇල්ලූ පසු අත් සබ න් යොදා සේදීම යන ක්‍රියාමාර්ගවලින් වයිරසය තම තමන්ගේ ශරීරයට ඇතුළුවීම වළක්වා ගත හැකි බවත් සබන් අපට තිබෙන හොඳ විෂබීජ නාශකයක් බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.

තමා ලෝක සෞඛ්‍ය සංවිධානයේ වයිරස රෝග වැළැක්වීමේ කමිටුවේ සාමාජිකයෙකු ලෙස වසර විසි පහකට වැඩි කාලයක් කටයුතු කළ බවත් ලෝකයේ විවිධ රටවල වසංගත පාලනය සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව මේ නිසා තමාට හොඳ අත්දැකීම් ඇති බවත් විතාරණ මහතා පැවසුවේය.