සංචරණ නීති කඩා කුරුණෑගල පොලිසියේදී උපන්දින කේක් කැපීම ගැන පරික්ෂණයක්


(නිමන්ති රණසිංහ )

කුරුණෑගල පොලිසිය සංවිධානය කර තිබූ පිරිත් සජ්ජායනාවක් අතර තුර කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතරණ මහතාගේ උපන්දින සැමරුම සම්බන්ධයෙන් පොලිස් අධිකාරිවරයකුගෙන් ප‍්‍රධානත්වයෙන් යුතු විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම සිද්ධිය නිරෝධායන නිතිවලට පටහැනිව සිදුකරන ලද්දක් බවත් මෙය පොලීසිය සම්බන්ධවී නොකළ යුතු කි‍්‍රයාවක් බවත් ඔහු සදහන් කරයි.

පිරිත් සජ්ජායනාවකට පැමිණ උපන්දින කේක් කපමින් සිදුකළ මෙම කි‍්‍රයාව සම්බන්ධයෙන් ඉතා දැඩිව නිතිය කි‍්‍රයාත්මක කරන බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කරයි.

කොවිඞ් -19 වසංගය දුරුවේවායි ප‍්‍රාර්ථනා කරමින් කුරුණෑගල පොලීසිය සංවිධානය කළ සත් දින පිරිත් දේශනාවක් මේ දිනවල එම පොලිස් ස්ථාන පරිශ‍්‍රයේ දී පැවැත්වෙන අතර, එම පිරිත් දේශනය ශ‍්‍රවණය කිරීම සඳහා කුරුණෑගල නගරාධිපතිවරයා ඊයේ (30* පස්වරුවේ සහභාගි වී සිටියේය. එහිදී ඊයේ දිනට යෙදි තිබු නගරාධිපතිවරයාගේ උපන්දිනය සැමරීමද සිදුකර ඇති අතර එහිදී පොලිස් නිලධාරින් විසින් නගරාධිපතිවරයා වෙනුවෙන් සුදානම් කර තිබු උපන්දින කේක් ගෙඩිය කැපීමද සිදුව තිබිණී.