සංක්‍රමණිකයෝ අසරණ වෙති : 100ක් අබුඩාබියේ වහල් සේවයේ


ශ්‍රී ලංකාවේ, බංග්ලාදේශයේ, ඉන්දියාවේ සහ පාකිස්තානයේ සිට පැමිණි සංක්‍රමණිකයන් 100ක් පමණ සිය හාම්පුතුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ අබුඩාබියේ රැඳී සිටින බව කියති.

වැටුප් රහිතව සේවය කරන ඔවුන් තමන්ව ගෙන්වා ගන්නා ලෙස සිය රටවලට අභියාචනා ඉදිරිපත් කර ඇත.

ඉන්දියාවේ තමිල්නාඩුවේ සිට පැමිණි 15 දෙනකුට ආසන්න ප්‍රමාණයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගයාති කම්කරු කඳවුරේ රැඳී සිටින බවත් ඔවුන්ගේ සේවා දිගු නොකිරීම, මුදල් නැති වීම ආදී ගැටලු ඇති බවත් රොයිටර් පුවත් සේවය පවසයි. ඔවුන්ට ආහාර ලැබෙන්නේද සුළු වශයෙන් බව කියති.

තම සේවා කොන්ත්‍රාත්තු, වීසා සහ කම්කරු හැඳුනුම්පත් සහ නේවාසික හැඳුනුම්පත් කල් ඉකුත්ව ඇති බවත් තම අනුග්‍රාහකයන් ඒවා අලුත් නොකළ බවත් ඔවුහු කියති. පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට ඔවුන්ට වැටුපක් ලැබී නැතැයිද කියති.

එක් කම්කරුවකුගේ බිරිය කියා සිටියේ තම ස්වාමියාට මාස 9කින් වැටුප් නොලැබුණු බවයි. ඉන්දීය සේවකයකු කියා සිටියේ අපට යළි පවුල සමග එකතුවී ගොඩනැගීමට අවස්ථාව ලබාදෙන ලෙසයි. ඉන්දීය රජයේ දත්ත අනුව මිලියන 6ක ඉන්දීය ජාතිකයන් පිරිසක් මේ වන විට ගල්ෆ් කලාපයේ බහරේන්, කුවේට්, කටාර්, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන බව වාර්තාවේ.

දින කිහිපයකට පෙර ඔවුන්ගේ පැමිණිලි ලැබුණු බවත් තමන් අබුඩාබියෙන් ඔවුන් යළි ගෙන්වාගැනීමට හා ඔවුන් සේවය කළ ආයතනවලින් වැටුප් ලබාදීමට කටයුතු යොදා ඇති බවත් ඉන්දීය විදේශ අමාත්‍යංශයේ නිලධරයකු පවසා ඇත. ඉන්දීය සේවකයන්ගෙන් ඇතැමුන් ව්‍යාජ හා පිළිගත නොහැකි ලේඛන ඉදිරිපත් කිරීම නිසා එම කටයුතු පමාවී ඇති බව කියති.

රාජ්‍ය නොවන සංවිධානයක ක්‍රියාකාරිනියක වන ජොසපියන් වැලමාති පැවසූයේ විදේශ රැකියා සඳහා විදේශ රැකියා නියෝජිත ආයතන පිළිගත හැකි ලේඛන නොමැතිව එසේ සේවකයන් යවන්නේ කෙසේදැයි එම රජයන් විමර්ශනය කළ  යුතු කාලය එළඹ ඇති බවයි. ඉන්දීය සංක්‍රමණිකයන් ගල්ෆ් රටක රැකියාවක් ලබාගැනීමට ඒජන්තවරුන්ට රුපියල් ලක්ෂ දෙකක පමණ මුදල් ගෙවන බවද වාර්තාවේ.