ශී‍්‍ර ලංකා පාපන්දු ක‍්‍රීඩකයෝ පළමු රිදී පදක්කම දිනාගනිති


හම්බන්තොටදී පැවැත්වෙන පළමු දකුණු ආසියානු වෙරළ ක‍්‍රීඩා උළෙලේ තෙවැනි දිනය වූ අද (10) ශ‍්‍රී ලංකාවට මෙම ක‍්‍රීඩා උළෙලේ පළමු රිදී පදක්කම එකතු කිරීමට පාපන්දු ක‍්‍රීඩකයෝ සමත් වූහ. අද පස්වරුවේ පැවැති පාපන්දු අවසන් මහා තරගයේදී ශ‍්‍රී ලංකාව දඩුවම් පහර 1-0 කින් බංග්ලාදේශය හමුවේ පරාජයට පත්විය. තෙවැනි දිනය වූ අද (10) පස්වරුවේ තරග අවසන් වන විට ඉන්දියාව රන් පදක්කම් තුනක් සහ රිදි පදක්කම්ක් හතරක් දිනාගනිමින් පදක්කම් සටහනේ පෙරමුණේ පසු වූ අතර ශ‍්‍රී ලංකාව රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් තුනක් හිමිකර ගනිමින් සිවුවැනි ස්ථානයේ පසු විය. නේපාලය සහ බංග්ලාදේශය දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසු වෙති. පාපන්දු අවසන් මහා තරගය ඉතා තියුණු මෙන්ම විවාදාත්මක එකක් බවට පත් වූ අතර තරගයේ නියමිත කාලය අවසන් වන විට ගෝල 9-9 ක් ලෙස සම තත්ත්වයේ පැවතුණි. අනතුරුව ලබාදුන් අතිරේක කාලයේදී ගෝල ලබා ගැනීමට නොහැකිවීමෙන් දඩුවම් පහර අවස්ථාව පිරිනැමීය. ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් සිවුදෙනකු සහ බංග්ලාදේශ ක‍්‍රීඩකයන් තිදෙනකු දඩුවම් පහර අසාර්ථක කිරීම නිසා දඩුවම් පහර අටක් දක්වා තරගය විහිදුණු අතර අටවැනි දඩුවම් පහර රොබින් සාර්ථක කිරීමත් සමග රන් පදක්කම බංග්ලාදේශයට හිමිවිය.
ඡායාරූපය: රොමේෂ් ධනුෂ්ක සිල්වා
පාපන්දු රිදී පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ......