ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කරයි


(මනෝප්‍රිය ගුණසේකර)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ , ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර තිබේ 2020 වසරේ සිට ක්‍රියාත්මක වන අන්දමට ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර ඇත.

ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කිරීමට, පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරය කළ නියෝගය පසුගිය මැයි 13වැනිදා ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබුණි.

එම නියෝගයට අනුව 2020 වසරේ සිට බලපැවැත්වන අන්දමට මෙම උසස්වීම් නිර්දේශ කර තිබූ අතර, වැඩතහනමට ලක් වූ දින සිට මේ දක්වා අහිමි වූ සියලුම හිඟ වැටුප් සහ දීමනා ශානි අබේසේකර මහතාට ගෙවීය යුතු බවත් එහි සඳහන් විය.

ලංකා ඉතිහාසයේ සිදු වූ අභිරහස් ඝාතන රැසක් විමර්ශනය කර එම අපරාධවලට වග යුතු කළ යුතු පුද්ගලයන් නීතියේ රැහැණට කොටු කරදීමට සමත් වූ දක්ෂ විමර්ශන නිලධාරියක වන ශානි අබේසේකර මහතා කිසිවකුට ගැති නොවන සෘජු නිලධාරියෙකු වශයෙන් සියලු දෙනා අතර ප්‍රකටය.

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වන විට පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ ශානි අබේසේකර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි දකුණු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සහකාර නිලධාරියා වශයෙන් පත්කර යවනු ලැබූ අතර. ඉන් අනතුරුව 2020 වසරේ ජූලි මාසයේදී ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගන්නා ලදුව මාස 11ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටීමටද ඔහුට සිදුවිය.

ශානි අබේසේකර මහතා අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරය ඔහු ඇප මත මුදා හරින ලද අතර ශානි අබේසේකර මහතාට එරෙහිව ගොනුකර තිබූ සියලු චෝදනා නීතිපතිවරයා විසින් ම පසු අවස්ථාවක ඉල්ලා අස්කර ගන්නා ලදුව සියලු චෝදනාවලින් ඒ මහතා නිදහස් විය.

ඉන් අනතුරුව 2024 වසරේදී යළි සේවයේ පිටවූ ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේඅධ්‍යක්ෂවරයා ලෙස යළිත් වරක් පත් කරනු ලැබීය.

තමාට හිමි උසස් වීම ලබා දෙන ලෙස ශානි අබේසේකර මහතා පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරයෙන් කළ ඉල්ලීමකට අනුව පැවැත්වූ විමර්ශනයකින් අනතුරුව ශානි අබේසේකර මහතාට හිමි උසස්වීම් ලබාදෙන ලෙස පසුගිය මැයි 13වැනිදා ජාතික පොලිස් කොමිසමට නියම කෙරිණි.

එම නියෝගයට අනුව පොලිස් කොමිසමේ නිර්දේශ මත පොලිස්පතිවරයා විසින් ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති තනතුරට මෙලෙස උසස් කරනු ලැබ ඇත.