ශාක්‍ය රාජධානියේ අනුරුවක් ඉදිකිරීමට කෝටි 50 ක්


ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයට සමගාමීව ශාක්‍ය රාජධානියේ අනුරුවක් ඉදිකිරීමට නියමිතය. ‘සමාජ සාධාරණත්වය සහ තිරසාර සාමය සඳහා බෞද්ධ ඉගැන්වීම්‘ යන තේමාව යටතේ මැයි 12 වැනි දා සිට 14 දක්වා පැවැත්වීමට නියමිත එම උත්සවය නිමිත්තෙන් පිළියන්දල කහපොල අක්කර 78ක භූමියක ශාක්‍ය රාජධානියේ අනුරුවක් ඉදිකරන බව බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

මෙම රාජධානියේ අනුරුව ඉදිකිරීමට රුපියල් මිලියන 500ක් (කෝටි 50 ක්) පමණ වැය වන බවත් ඒ ස ඳහා පෞද්ගලික අංශය දායකත්වය සපයනු ඇති බවත් විජයදාස මහතා කියයි.

වෙසක් දිනය අන්තර්ජාතික නිවාඩු දිනයක් කිරීම උදෙසා හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා ගේ මූලිකත්වය සහිතව ශ්‍රී ලංකාව විශේෂ කාර්යභාරයක් ඉටු කළේය. නමුත් අන්තර්ජාතික වෙසක් දින උත්සවය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙය වන අතර මීට පෙර වසර 11කදී එම උත්සවය තායිලන්තයේ දී පැවැත්වූ අතර දෙවරක් වියට්නාමයේදී  පැවැත්විණි.
ලුම්බිණිය, කුසිනාරාව, ඉසිපතානාරාමය, සුද්ධෝදන රජුගේ මාළිගාව වැනි බුදුන් වහන්සේගේ ජීවිතයේ විශේෂ ස්ථාන මෙහි ඉදිකෙරෙනු ඇත. එහි ඊ-පුස්තකාල පහසුකම්, මාධ්‍ය ස්ථාන, මෙන්ම බැතිමතුන් 10,000කට පමණ ඉඩකඩ ඇති භාවනා මධ්‍යස්ථාන ද අන්තර්ගත කෙරේ. 

 වෙසක් දින උත්සවයේ සමාරම්භක උළෙල මැයි 12 වැනි දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත අතර ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට සහභාගී වීමට නියමිත ය.
සමාප්ති උත්සවය මැයි 14 වැනි දා දළදා මාළිගාවේදී පැවැත්වීමට නියමිත අතර එහි ප්‍රධාන ආරධිතයා ලෙස නේපාල ජනපති බිධ්‍යා දේවි භන්ධාරි මහත්මිය සහභාගී වීමට නියමිතය. මෙම උත්සවයට රටවල් 85 කට පමණ ආරාධනා කර ඇතැයි ද රටවල් 72ක් මේ වන විට සහභාගීත්වය තහවුරු කර ඇතැයි ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. 
මීට අමතරව දියවන්නාව පරිශ්‍රයේදී විශේෂ වෙසක් කලාපයක් ස්ථාපිත කරන බවත් එහිදී සම්මන්ත්‍රණ රැසක් ද නෙළුම් පොකුණ රඟහලේදී සංස්කෘතික සන්දර්ශනයක් ද පැවැත්වීමට නියමිත බවත් අමාත්‍යවරයා පවසයි.එයට විදේශ කලාකරුවන් ද සහභාගී වනු ඇත.
සමාප්තී උළෙල පැවැත්වෙන මහනුවර දක්වා විශේෂ දුම්රිය සේවයක් යෙදවීමට කටයුතු කරන බව රාජපක්ෂ මහතා කියයි. අවසන් දිනයේ දී විශේෂ දළදා ප්‍රදර්ශනයක් ද විශේෂ දළදා පෙරහැරක් ද පැවැත්වීමට නියමිතය. 

ඒ අතරම රාජ්‍ය වෙසක් උත්සවය මැයි 09 වැනි දා වත්තරගම කෑගල්ල වට්ටාරාම රජ මහා විහාරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

මීට සමගාමීව මැයි 03 වැනි දා අනුරාධපුර රුවන්වැලි සෑය අභියසදී සාමනේර භික්ෂූන් 500 දෙනකු පැවිදි කිරීමට නියමිත ය