(මනෝප්රිය ගුණසේකර)
වීරකැටිය මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිතා කළැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහි නඩුවේ සාක්කි විභාගය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ලැබෙන තුරු නොපැවැත්වීමට ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (26) තීරණය කළේය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවේ සාක්කි විභාගය ලබන ඔක්තෝබර් 1 වැනිදා දක්වා අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇතැයි කළ දැනුම් දීමක් සැළකිල්ලට ගත් විනිසුරු මඩුල්ල එලෙස තීරණය කළේය.
ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඬුල්ලට මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් විජේරත්න (සභාපති විනිසුරු) සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීහු ඇතුළත් වෙති.
2013 සැප්තැම්බර් මස 3 වැනිදාත් 2015 පෙබරවාරී මස 2 වැනිදාත් අතර කාලය තුළ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 339 ක් වැයකර වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීම සඳහා කුමන්ත්‍රණය කළ බවට සියලූ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා තිබේ.
රුපියල් ලක්ෂ 339 වැයකර වීරකැටිය මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීමෙන් එම මුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළ බවට ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් වු 2 සිට 6 දක්වා වන විත්තිකරුවන්ට එරෙහිව ද ඒ සඳහා ආධාර අනුබල දුන් බවට 01 සහ 07 වැනි විත්තිකරුවන්ට එරෙහිව ද නීතීපතිවරයා චෝදනා නඟා ඇත.
දණ්ඩ නීති සංග්‍රහය යටතේ සහ පොදු දේපළ විෂයෙහි ලා සිදුකරනු ලබන වැරදි පිළිබඳ පනත යටතේ විත්තිකරුවන් මෙම වැරදි සිදුකර ඇති බවද නීතීපතිවරයා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට දැනුම් දී ඇත.
ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ දෙවැනි නඩුව ලෙස නීතීපතිවරයා විසින් පොදු දේපළ පනත සහ දණ්ඩ නීතී සංග්‍රහය යටතේ පවරන ලද මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ලියන ආරච්චිගේ ප්‍රසාද් හර්ෂාන් ද සිල්වා, එම සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී භද්‍රා උදුලාවතී කමලදාස, සුධම්මික කේමින්ද ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, එම්.ඩී.මහින්ද සාලිය සහ එම්.ඒ. ශ්‍රීමති මල්ලිකා කුමාරි සේනාධීර යන 7 දෙනා නම් කර ඇත.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සියලු විත්තිකරු අධිකරණයේ පෙනී සිටියහ.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරු කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවේ අධිචෝදනා පත්‍රයේ ඇතුළත් එක් අධි චෝදනාවක් සංශෝධනය කිරීමට නීතීපතිවරයා එකඟතාවය පළ කර ඇති බව දැනුම් දුන්හ.
ඒ සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලබන අගොස්තු 30 වැනිදා ඉදිරිපත් කිරීමට නියම කළ විනිසුරු මඩුල්ල නඩුව එදින යළි කැඳවීමට නියම කළහ.

