ශ්‍රේෂ්ඨාධිකරණය යසසිරිගේ පෙත්සම විසි කරයි


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

යශෝධා සමූහ ව්‍යාපරයේ අධිපති යසසිරි කස්තුරිආරච්චි මහතාට අයත් නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි ඉඩමක් වෙන්දේසියේ විකිණීමට මහජන බැංකුව විසින් ගත් තීරණයට එරෙහිව ඒ මහතා විසින් ගොනු කර තිබූ අභියාචන පෙත්සම නිෂ්ප්‍රභ කළ ශ්‍රේෂ්ඨාධිකරණය රුපියල් ලක්ෂ පහක මුදලක් නඩු ගාස්තු වශයෙන් මහජන බැංකුවට ගෙවන ලෙසද  යසසිරි කස්තුරිආරච්චි මහතාට නියෝග කළේය.

මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ සිසිර ආබෲ , මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසිනි.

බොරලැස්ගමුව , පැපිලියාන පාරේ පදිංචි යශෝධා සමූහ ව්‍යපාරයේ අධිපති යසසිරි කස්තුරිආරච්චි මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස මහජන බැංකුව නම් කරනු ලැබ තිබිණි.

අනෙකුත් විනිසුරුතුමන්ලාගේ එකගත්වයෙන් විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය විසින් ලබා දුන් තීන්දුවේ මෙසේද සදහන් වේ.

''පෙත්සම්කරුට අයිති නුවරඒළිය ප්‍රදේශයේ පිහිටි මහජන බැංකුවට උකස් කර තිබූ ඉඩම් කට්ටි 6 කින් ඔහුව නෙරපීමට මහජන බැංකු අධ්‍යක්ෂ මණ්ඩලය ගත් තීරණයට එරෙහිව පෙත්සම්කරු නුවරඒලිය දිසා අධිකාරණය හමුවේ මෙම නඩු පැවරීය.

ඊට අමතරව මෙම ඉඩම් කට්ටි විකිනීම වළකාලන තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද දිසා අධිකරණ නඩවේ පැමිණිල්ලෙන් පෙත්සම්කරු ඉල්ලා තිබිණි.

කෙසේ නමුත් ඉඩමෙන් පෙත්සමකරු ඉවත් කිරීම වළකාලන තහනම් නියෝග නිකුත් කිරීම නුවරඑළිය දිසා අධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරිණි.

මෙම තීන්දුවෙන් අගතියට පත් පෙත්සම්කරු නුවරඑළිය මහාධිකරණයටද ඇපෑලක් ගොනු කෙරිණි.එය ප්‍රතික්ෂේප කෙරිණි.

ඉන්පසු  පෙත්සම්කරු මෙම අභියාචන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරිණි.

2013/7/30 වන දින මහනුවර අභියාචන බලතල සහිත මහාධිකරණය විසින් පෙත්සම්කරුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව මෙම අභියාචනය ගොනු කර ඇත.

මෙහිදී අධිකරණ සලකා බැලීමට ඇති ප්‍රධානතම කාරණය වන්නේ රාමචන්ද්‍ර නඩු තීන්දුව අනුව ( රාචන්ද්‍ර නඩු තීන්දුවේ සදහන් වන්නේ උකස්කරු උකසට තබා ඇති දේපළක් හැර තෙවැනි පාර්ශවය විසින් උකස් කළ දේපළ බැංකුවට වෙන්දේසි නොකළ හැකි බවය)

ඒ අනුව පෙත්සම්කරුගේ දේපළ තෙවැනි පාර්ශවයක් විසින් උකස් කළ දේපළකට වැටෙනවාද නැත්ද යන්න අධිකරණය තීරණය කළ යුතු ප්‍රධාන කරුණ වේ.

ඉදිරිපත් වූ කරුණු අනුව පෙත්සම්කරු ලබා ගත් ණය මුදල් යළි ගෙවීම පැහැර හැරීම හේතුවෙන් බැංකු පනතේ විධි විධාන අනුව බැංකුව විසින්  ඔහු උගස් කළ ඉඩම විකුණා මුදල් ලබා ගැනීම තීරණය කර ඇත.

මෙම සිද්ධියටම අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශිත මහජන බැංකුව හා තවත් 17 දෙනෙකුට එදිරි යසසිරි කස්තුරිආරච්චි නමින් නව නීති වාර්තවට ඇතුළත් වූ නඩුව කෙරෙහි පාර්ශවකරුවන් අධිකරණයේ අවධානය යොමු කර ඇත.මෙම නඩු තීන්දුව පරීක්ෂා කිරීමේදී බැංකුව විසින් පෙත්සම්කරුට අයිති ඉඩම විකිණීමට බැංකු අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණය වළකාලන රිට් ආඥාවක් නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.

 

පෙත්සම්කාර යසසිරි කස්තුරි ආරච්චි මහතා එක් නෛතික පුද්ගලයෙකු බවද , පෙත්සම්කරු තෙවැනි පාර්ශවයක් වශයෙන් සැලකිය නොහැකි බවද ඒම තීනදුවේ සදහන් වේ.

තවද රාමචන්ද්‍රට එදිරිව හැටන් නැෂනල් බැංකු නඩු තීන්දුව අනුවද මෙම පෙත්සම්කරු උකස් කර ඇති ඉඩම නීතියේ රාමුව යටතේ තුන්වැනි පාර්ශවයක් විසින් සිදුකළ උකස්කරයක් යටත නොවැටෙන බව තීන්දුවේ සදහන් වේ.

ඒ අනුව ආදළ ඉඩම වෙන්දේසි කිරීමට වාරණ නියෝග නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට මහාධිකරණ විනිසුරුවරයා ගත් තීරණය නිවැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතයයි.

ඒ අනුව රුපියල් ලක්ෂ පහක නඩු ගාස්තුවකට යටත්ව අභියාචන පෙත්සම නිෂ්ප්‍රභ කරන බවද තීන්දුවේ වැඩිදුරටත් සදහන් වේ.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතීඥ මනෝජා ගුණවර්ධන මහත්මිය සමග නීතීඥ චතුර ගල්හේන මහතා

මහජන බැංකුව වෙනුවෙන් ජනාධිපති නීතීඥවරන් වන එස්.පර්තලිංගම් සහ කුෂාන් ද අල්විස් යන මහත්වරුන් පෙනී සිටියහ.