(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
තම ධුරය දැරිය හැකි කාලය පිළිබඳ මතයක් ප්‍රකාශ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ මතය ඉදිරියේ දී ජනාධිපතිට දන්වා යවන බව ශශ්‍රේෂ්ඨාධිකරණය අද (11) තීන්දු කළේය.
ජනාධිපති කළ එම සළකා බැලීමට අගවිනිසුරුවරයා ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් අද (11) පෙරවරුවේ විවෘත අධිකරණයේ රැස් වීණි.
අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්ත් මහතා එම විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර ඊවා වනිසුන්දර, බුවනෙක අළුවිහාරේ, කේ.ටි. චිත්‍රසිරි හා සිසිර ද අබෘ යන සෙසු විනිසුරුවන් එහි කටයුතු කරනු ලැබූ අතර විවිධ පාර්ශව වෙතින් ඊට පක්ෂව හා විපක්ෂව කරුණු දැක්වීම් සිදු විණි.
මෙහිදී නීතිපතිවරයා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයාට පවතින ව්‍යවස්ථාව යටතේ වසර හයක් ධූර කාලය හෙබවිය හැකි බවය.
ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ තමා බලයට පත් වන විට පැවැති 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තමාගේ ධුර කාලය අවුරුදු හයක් වුවද මෑතකදී සම්මත කරගත් 19 වැනි සංශෝධනය අනුව එය අවුරුදු පහක් දක්වා අඩු කළ බව යි.
ඒ අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක් ද නැතිනම් 6ක් ද යන්න සොයා බලා ලබන 14 වැනිදාට පෙර මතය ප්‍රකාශ කරන ලෙස කළ ඉල්ලීම මත එය අද දවස පුරා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ සළකා බැලිණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථා අර්ථ නිරෑපණ සදහා බලය පවතින්නේ ශ්‍රේෂ්ඨාධිකරණයටය.

