ශ්‍රීලනිපයේ 30ක් අලියා පිට නඟී?


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 30කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරි මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණින් තරඟ කිරීමට සාකච්ඡා අරඹා ඇතැයි පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ මහතා ලංකාදීපයට පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විරෝධය පළ කරන හිටපු මන්ත්‍රීවරුන් අතරින් දුමින්ද දිසානායක මහතා හැර සෙසු මන්ත්‍රීවරු එක්සත් ජාතික පෙරමුණ යටතේ අලියා ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ පිළ පැරදවීමට හැකි උපරිම අයුරින් කටයුතු කරන බව ද වියන්ගොඩ මහතා සඳහන් කළේය.

රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, එම් කේ ඩී එස් ගුණවර්ධන මහත්වරු මුල සිටම එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා කළ බව දේශපාලන ආරංචි කියයි.

ජාතික හෙළ උරුමය සහ සරත් ‍ෆොන්සේකා මහතාගේ පක්ෂ ද එම පෙරමුණට සම්බන්ධ වීමට බොහෝ දුරට ඉඩ ඇති බවත්, මේ ගැන සාකච්ඡා වට ගණනාවක් සිකුරාදා (10) ස්ථාන කිහිපයක දී පැවැති බව දේශපාලන ආරංචි කියයි.