ශ්‍රීලනිපය දිස්ත්‍රික්ක හතරකට වෙනම තරග කරයි


(නාලක සංජීව දහනායක)

මහ මැතිවරණයේදී නුවරඑළිය, වන්නිය, කලුතර හා යාපනය දිස්ත්‍රික්ක හතර සඳහා වෙනම තරග කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා අද (16) පැවසීය.

නාම යෝජනා පත‍්‍ර සකස් කිරීමේදී තම පක්‍ෂයට ලැබෙන අවස්ථාවන් අනුව ඉදිරියේදී පක්‍ෂය තනිව තරඟ කරන දිස්ත්‍රික්ක ප‍්‍රමාණය වැඩිවිය හැකි බවද ඔහු කීය.

නාම යෝජනා පත‍්‍ර සකස් කිරීමේදී බොහෝ දිස්ත්‍රික්කවලින් තම පක්‍ෂයට  ලැබී ඇත්තේ අවම අවස්ථාවන් බැවින් මහ මැතවරණයට තනිව තරග කළ යුතු බවට සංවිධායකයන්ගෙන් දැඩි පීඩනයක් එල්ලවෙන බවද මහාචාර්යවරයා පැවැසීය.

මේ අතර නාමයෝජනා පත්‍ර අත්සන් කිරීම සඳහා බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයට ගිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක හා භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නාමයෝජනා පත‍්‍ර අත්සන් නොකර නැවත හැරී පැමිණි බවද ඔහු කීය.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය පිහිටුවීමේදී ඇති කරගත් සම්මුතීන් නාම යෝජනා පත්‍ර සකස් කිරීමේදී බිඳ දමා දැමීම හා තම පක්‍ෂයට අවම අවස්ථාවන් දීම සම්බන්ධවත් දුමින්ද දිසානායක මහතා එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයාගෙන් කරුණු විමසා ඇති බවද මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා පැවසීය.