ශ්‍රීලනිප ප්‍රතිසංවිධානයට තාවකාලික නිලධාරී මණ්ඩලයක්



 
විනීතා එම් ගමගේ
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරී මණ්ඩලයෙන් අඩකටත් වඩා මේ වනවිට පෙහොට්ටුව සමඟ සිටින නිසා පක්ෂයේ ප්‍රතිසංවිධානය සඳහා තාවකාලික නිලධාරි මණ්ඩලයක් පත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප‍්‍රකාශ  කළේය. 

 
තාවකාලික නිලධාරි මණ්ඩලය සමඟ පක්ෂ ප‍්‍රතිසංවිධාන කටයුතු ගම් මට්ටමින් සිදු කර සැප්තැම්බර් දෙවැනිදා පැවැත්වෙන පක්ෂ සම්මේලනයේ දී  අලූත් නිලධාරි මණ්ඩලයක් පත් කර ගන්නා බව ද අමරවීරි මහතා කීය. 
 
තමන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා වූයේ තනතුරු ඉල්ලා හඬා වැටී නොවන බවත් එහි මහලේකම්වරයා වූ මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා මිය ගිය අවස්ථාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්  කැඳවා තනතුර භාර දුන්නේ තම දක්ෂතාව ගැන විශ්වාස කරමින් බවත් හෙතෙම සඳහන් කළේය.
 
පක්ෂ අභ්‍යන්තර අර්බුද පිළබඳ  අදහස් දැක්වූ අමරවීර මහතා ශ්‍රීලනිපයේ පමණක් නොව එජාපයේ ද පොහොට්ටුවේ ද ජවිපෙ ද පමණක් නොව ටී එන් ඒ පක්ෂයේ පවා අර්බුද ඇතැයි කියා සිටියේය. පක්ෂවල අර්බුද රටට බලනොපාන බව ද අමාත්‍යවරයා කීය.
 
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ එල්ලී නොසිටින බවත් පවතින්නේ ශ්‍රීලනිපය හා එජාපයේ හවුල් ආණ්ඩුවක් බවත් කියා සිටි  ඒ මහතා අද තරම් ජනාධිපති විවේචනය කරන කාලයක් පෙර නොපැවැතියේ යැයි ද පැවැසීය. 
 
අමරවීර මහතා මේ අදහස් පළ කළේ කෘෂිකර්ම අමාත්‍යංශයේ අද (21) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදින් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. කැබිනට් ප‍්‍රකාශකවරයා රණවිරුවන් පිළිබඳව කර ඇති  ප‍්‍රකාශය අනුමත කරන්නේ දැයි එහි දී මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඒ ප‍්‍රකාශය කිසිසේත්ම අනුමත කළ නොහැකි බවය.