ශ්‍රීලනිප 16 දෙනා අපිත් එක්ක එක්වන බවට නිල දැනුම් දීමක් තවම නෑ. - ජී.එල්. කියයි


(නාලක සංජීව දහනායක)

අමාත්‍යධූර වලින් ඉල්ලා අස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 16 දෙනා ඒකාබද්ධ විපක්‍ෂය සමඟ එකතු වන බවට තවමත් දැනුම් දීමක් කර  නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (4) පැවැසීය.

ඒකාබද්ධ විපක්‍ෂය සමඟ එකතුවන බවට ඔවුන් දැනුම් දෙන්නේනම් සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් සළකා බැලීමට සූදානම් බවද ඔහු කීය.

මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මෙසේද පැවැසීය.

එක්සත් ජාතික පක්‍ෂයත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් අතර වසර දෙකක කාලයක් සඳහා අත්සන් කළ ගිවිසුමේ නිල කාලය දැන් අවසන් වෙලා. ඒ නිසා තවදුරටත් මේ ගිවිසුම වලංගු නැහැ. මේ ගැන ඇමැතිධූර වලින් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 16 දෙනා කතා කරනවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නිහඩව සිටින බවද කීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී අද (4) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීයකු නැඟු ප‍්‍රශ්නයකට පිළිතුරු දෙන මහාචාර්යවරයා මේ බව පැවැසීය.