ශ්‍රීලනිප - සන්ධාන දීගය ඉවරයි?


එක්සත් ජනතා නිදහස් සන්ධානය නොබෝ දිනකින් විසුරුවා හැරීමට යතියි දේශපාලන ආරංචි කියයි.

අද සවස පහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සහ මෛත්‍රීපාල සිරිසේන ජනපති අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමියතය.

සන්ධානය විසිරුවා හැරීමෙන් පසු ශ්‍රීලනිපය තනිව හෝ වෙනත් ආකාරයකින් කටයුතු කරනු ඇතැයි ද එම ආරංචි සඳහන් කරයි.

2004 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අතර සන්ධාන ගිවිසුමක් අත්සන් කැරිණි. ශ්‍රී ලංකා මහජන පක්ෂය, දේශ විමුක්ති ජනතා පක්ෂය, මහජන එක්සත් පෙරමුණ හා ජාතික කොංග්‍රසය එක්සත් ජාතික පක්ෂයට එරෙහිව එම ගිවිසුමට අත්සන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි ලේකම් ටිල්වින් සිල්වාද, ශ්‍රීලනිපය වෙනුවෙන් හිටපු ලේකම් මෛත්‍රීපාල සිරිසේන ද ගිවිසුමට අත්සන් තැබූහ.

ජාතික හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හා ලංකා සම සමාජය පක්ෂය ද ඇතුළු පක්ෂ 14ක් පමණ පසුව ඊට එක් වූහ. චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායකගේ හවුල් රජයේ ප්‍රධාන පාර්ශ්වකරුවකු වූ ජවිපය 2005 දී සන්ධානයෙන් ඉවත් විය.

චන්ද්‍රිකා දේශපාලනයෙන් සමු ගැනීමෙන් පසු මහින්ද රාජපක්ෂ සන්ධාන නායකයා විය. ඔහු සන්ධානයෙන් ජනාධිපතිවරණ දෙකක් හා මහ මැතිවරණයක් ජය ගත්තේය.

2015 ජනවාරි අට වැනි දා ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ පරාජය විය. ඉන් පසු අගෝස්තු 17 වැනි දා පැවැති මහ මැතිවරණයට සන්ධානය තරග කළ අතර එම ඡන්දයෙන් ද සන්ධානය පරාජය විය.

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා කීවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය විසිරැවීමක් ප්‍රායෝගිකව සිදු කළ නොහැකි වුවත් එය අකර්මණ්‍ය කිරීමට යන බවයි.

සන්ධානය යටතේ කරඟ කර තේරී පත් වූ පළාත් මන්ත්‍රීවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සිටින බවත්, ඒ නිසා මැතිවරණ කොමසාරිස් සමග ගනු දෙනු කිරීමට නාමිකව සන්ධාන ලේකම් කටයුතු කරන බවත්, ඉදිරියේ සන්ධානය යටතේ මැතිවරණවලට තරඟ නොකරනු ඇති බවත් ගම්මන්පිල මහතා කියයි.

(ඡායාරූප අන්තර්ජාලයෙනි)

maithri-and-tilvin-agrement1 maithri-and-tilvin-agrement2 maithri-and-tilvin-agrement3 maithri-and-tilvin-agrement4 maithri-and-tilvin-agrement5 maithri-and-tilvin-agrement6 maithri-and-tilvin-agrement7 maithri-and-tilvin-agrement8 maithri-and-tilvin-agrement9