ශ්‍රී ලාංකික නැවියා නිදහස් කර ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා


( තිළිණි ද සිල්වා )

ජපන් සමාගමකට අයත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් මීට සති කිහිපයකට පෙර මුරුසි දුපත ආසන්නයේදී කොරල් පරයක ගැටීමෙන් අනතුරට ලක්වීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ එම නෞකාවේ ප්‍රධන මෙහෙයුම් නිලධාරියා ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකික නැවියා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කර ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.

ඒ අනුව සීෂෙල්ස් හි පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සහ මුරුසි දූපත් හි තිබෙන ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල්වරයා හරහා ලාංකික නැවියා මුදා ගැනීමට මුරුසි රජය සමඟ සාකච්ඡා කරමින් සිටින බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් කීය.

එම ලාංකිකයා මේ වන විට එරට පොලිස් රැඳවුම් බාරයේ සිටින බවද විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.

මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ තිලක් රත්න සුබෝධ නැමැති ලාංකික නැවියෙකි.එම ලාංකිකයා සමඟ එම නැවේ කපිතාන්වරයා ලෙස කටයුතු කළ  ඉන්දීය ජාතිකයෙකු මුරුසි පොලිසිය විසින් ඉකුත් 18 වැනිදා  අත්අඩංගුවට ගනු ලැබීය.

ජපාන සමාගමකට අයත් මෙම නෞකාව සිදු කළ අනතුරෙන් , මංකොල්ලකෑම සහ සමුද්‍රීය ප්‍රචණ්ඩත්වය සිදු කර ඇතැයි යන චෝදනාව යටතේ  ලාංකික හා ඉන්දීය ජාතික නැවියන් දෙදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද මුරුසි පොලිසිය සඳහන් කරනු ලැබ ඇත.

පොලිස් අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික සහ ඉන්දීය ජාතික නැවියන් දෙදෙනා ලබන 25 වැනිදා මොරිෂ්ස් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

“එම්.වී වකාෂියෝ ” නැමැති  මෙම නෞකාවේ කපිතාන්වරයා ලෙස ඉන්දීය ජාතිකයෙක් වන සුනිල් කුමාර් නන්ඬේෂ්වර් ද , එහි ප්‍රධාන නිලධාරියා ලෙස කටයුතු කළ තිලක් රත්න සුබෝධ නැමැත්තන් ඉකුත් ජුලි මස 25 වෙනිදා මොරිෂස් දූපත් වලට අයත් කොරල් පරයක ගැටුණි.

එම අනතුරෙන් සතියකට පසුව නෞකාවේ තිබූ ඉන්ධන ටොන් 1000 ක් පමණ ප්‍රමාණයක් සාගරයට කාන්දු වීමෙන් මේවන විට මොරිෂ්ස් දූපත් වලට අයත් සාගරයේ පාරිසරික ගැටළු රැසක් මතුවී තිබෙන අතර   එහි කොරල් පර වල ජෛව විවිධත්ත්වය බරපතල හානි සිදුවී ඇති බව මුරුසි පොලිසිය කියයි.