ශ්‍රී ලන්කන් සමාගම ගොඩගන්න කැබිනට් රැස්වීමේදී අදහස් ඉල්ලයි


(අජන්ත කුමාර අගලකඩ)

දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව තිබෙන ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ගොඩනැගීමට යෝජනා ඇත්නම් ඉදිරිපත් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (17) පැවැති කැබිනට් රැස්වීමේදී ඇමැතිවරුන්ගෙන ඉල්ලීමක් කර ඇත.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා අද පැවැති කැබිනට් රැස්වීමේදී දීර්ඝ පැහැදිලි කිරීමක්ද කර ඇත.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඉකුත් අප්‍රේල් මස 30 වැනිදා වනවිට රුපියල් කෝටි 10,255 ක පමණ මුදලක් ණය වී ඇති බවද ඉන් සියයට 70 ක්ම රාජ්‍ය බැංකුවලට හා ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට ඇති ණය බවත් රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දී ඇත.

ගුවන් සමාගමේ සමස්ත ණය වාරිකය මෙරට ජාතික ආදායමෙන් සියයට එකක් පමණ වන බව පවසා ඇති එරාන් වික්‍රමරත්න මහතා එම ප්‍රමාණය අනුව සෑම පුරවැසියෙක්ම රුපියල් 7300 ක පමණ මුදලක් ණය වී ඇති බව පවසා තිබේ.

පාඩු ලබමින් පවතින ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා උපායමාර්ගික ආයෝජකයකු සොයමින් සිටින බවද ඔහු සඳහන් කළේය.