ශ්‍රී ලන්කන් ගුවන් ගමන් වාර දෙකක් අවලංගුයි


(කටුනායක ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ  අද දිනට නියමිත ගුවන් ගමන් වාර දෙකක් අවලංගු කර ඇති බව එම සමාගම නිවේදනය කර සිටී.

අද  දින දහවල් 1.20 ට පකිස්තානයේ කරච්චි බලා පිටත්ව යෑමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 183 දරන යානයත් , අද රාත්‍රී 10.20 ට මාලේ බලා පිටත් වීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 109 දරන යානයේත් ගමන්වාර අවලංගු කර තිබේ . මෙයට හේතු වී ඇත්තේ දෙදිනකට පෙර සිට ශ්‍රී ලන්කන් ගුවන් ගමන් වල පවතින ප්‍රමාද වීම් නිරාකරණය කර ගැනීම සඳහා බව කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කරයි.

දෙදිනකට පෙර කොචින් ගුවන් තොටුපොළ ආසන්නයේ දී A- 330 එයා බස් වර්ගයේ ගුවන් යානයක කුරුල්ලෙකු වැදීම නිසා එය පියාසැරියෙන් ඉවත් කර තිබීම මෙම ගුවන් ගමන් ප්‍රමාදයට බල පෑ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේය .

මේ වනවිට මෙම යානය යථා තත්වයට පත් කරමින් පවතින අතර , එය හෙට (27 වැනිදා) යළි ධාවනයට එක් කළ හැකි බවද , ඒ වනවිට මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානා වල පවතින ප්‍රමාදය අවසන් වනු ඇති බවද පෙරේරා මහතා බලාපොරොත්තු පළ කළේය .

මීට අමතරව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නව දිල්ලි ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටීම නිසා , එහි ළගා වෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක් වෙනත් ගුවන් තොටුපොළක් වෙත යොමු කිරීමද මෙම ප්‍රමාද වීම් ඇති වීමට බල පෑ බවත් ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කළේය .

ශ්‍රී ලන්කන් ගුවන් මගීන් සදහා 0119-7331979 දුරකථනය දවසේ පැය 24 පුරා විවෘතව පවතින අතර , ගුවන් තොටුපොළ වෙත පිවිසීමට පෙර අවශ්‍ය නම් වැඩිදුර විමසීම් කරන ලෙසද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි