ශ්‍රී ලන්කන් කොමිසමේ සාක්කි සටහන් කරගැනීම ඉදිරි සති දෙකේදී


(සුජිත් හේවාජුලිගේ) 

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ  සිදු වී ඇතැයි පැවසෙන අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට පත් කළ  ජනාධිපති කොමිසම අදාළ  පුද්ගලයින්ගේ තොරතුරු හා සාක්කි සටහන් කර ගැනීම ඉදිරි සති දෙකේ දී අරඹන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 

ශ්‍රී ලංකා ගුවන් සමාගමට අනුබද්ධ වෘත්තිය සමිති  සන්ධානයේ  නියෝජිතයින් සමඟ ජනාධිපති කාර්යාලයේදී අද (25) පෙරවරුවේදී පැවැති සාකච්ඡාවේදී  ජනාධිපතිවරයා මේ බව පැවසීය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවාව සම්බන්ධයෙන්  ජාත්‍යන්තරව පවතින පිළිගැනීම ආරක්ෂා කරමින් ගුණාත්මක ගුවන් සේවයක් ලෙස එහි කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මෙහිදී දැඩිව පෙන්වා දුන් අතර ජනාධිපතිවරයා ගුවන් සේවයේ ගුණාත්මකභාවය  වර්ධනය කිරීම සඳහා  එහි පහසුකම් වැඩි දියුණු කළ යුතු බවද අවධාරණය  කළේය.

ශ්‍රී ලංකා ගුවන් සේවයේ පසුගිය සමයේ සිදු වී ඇති අක්‍රමිකතා පිළිබඳව  සොයා බැලිමට ජනාධිපති කොමිසමක් පත්කර ඒ  කටයුතු ඉදිරියට ගෙන  යෑම පිළිබඳව වෘත්තිය සමිති නියෝජිතයින්  එම අවස්ථාවේදී ජනාධීපතිවරයාට ස්තූතිය පිරිනැමීය.