වංචාව සහ දූෂණය පිටුදැකීමට ගෙන යන වැඩපිළිවෙළ නොනවත්වා කරගෙන යන බවත් අද රටම කථා කරන බැඳුම්කර කොමිසමේ වාර්තාව තමන්ට ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය සහ මිහින් එයාර් ගුවන් සේවය පිළිබඳව සොයා බැලීමට ද නව කොමිසම් දෙකක් පත් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරුන් සමග ජනාධිපති මන්දිරයේ පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ යැයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් ලෙස ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් නොකර, රටට ආදරය කරන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගිය නොහැකි බවද පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තමා අපේක්ෂා කරන්නේ පක්ෂයෙන් වර්ණවත්වන ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් හෝ අපේක්ෂකයින් නොව ඔවුන්ගෙන් පක්ෂය වර්ණවත්වීම බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
යම් අපේක්ෂකයෙකුගේ හැසිරීම, චරිතය සහ ජනතා පිළිගැනීම පැහැදිළිව ඔහුගේ ජයග්‍රහණයට හේතු වන බවත් රටට ආදරය කරන සැබෑ චරිතවත් මහජන නියෝජිතයින් පිරිසක් මෙවර මැතිවරණයේදී ජයග්‍රහණය කරනු ඇති බවත් පැවසීය. ඉදිරි පළාත් පාලන මැතිවරණයේ සංවිධාන කටයුතු පිළිබඳ මෙම හමුවේදී දීර්ඝවශයෙන් සාකච්ඡාවට ලක් විය.

