ශ්‍රී ලංකාවේදී බල්ලකුගේ සපාකෑමට ලක්වූ ප්‍රංශ දරුවා මියයයි


(සුනිල් ආනන්ද පැරීසියේ සිට)

සංචාරයක් සඳහා ශ්‍රීලංකාවට පැමිණි ප‍්‍රංශ ජාතික පවුලකට අයත් වයස අවුරුදු 10ක පිරිමි දරුවෙක් ජල භීතිකා රෝගය හේතුවෙන් ඹක්තෝම්බර් මස 19 වැනිදා මධ්‍යම ප‍්‍රංශයේ ලියෝන් නගරයේ රෝහලකදී මිය ගොස් ඇත

ජල භීතිකා රෝගය හේතුවෙන් සිදුවූ මරණයක් බැවින් මෙම සිදුවීම ප‍්‍රංශ මාධ්‍යයේ විශේෂ කතා බහට ලක්වූ මාතෘකාවක් විය.

එම ප‍්‍රංශ ජාතික පවුල ලංකාවට පැමිණි අවස්ථාවේ දික්වැල්ල ප‍්‍රදේශයේ නවාතැන් ගෙන සිටි අතර එම ප‍්‍රදේශයේ මුහුදු වෙරළේ සෙල්ලම් කරමින් සිටි මෙම දරුවා වෙරළේ දඩාවතේ යන බල්ලෙකු අත ගෑමට ගොස් සපා කා ඇත. එයින් සිදුවූ සුළු තුවාලයට ප‍්‍රතිකාර ලබා ගත් දෙමාපියන් නිවාඩුව අවසන් කොට ප‍්‍රංශයට පැමිණ ඇති අතර මසකට පමණ පසු දරුවාගේ සෞඛ්‍ය තත්වයේ අසාමාන්‍ය වෙනස්වීම් හේතු කොට රෝහල් ගත කිරීමෙන් දින කිහිපයකට පසු දරුවා මරණයට පත්වී ඇති අතර මරණයට හේතුව ජල භීතිකා රෝගය බව පැරීසියේ පිහිටි ලෝක ප‍්‍රසිද්ධ ලූවී පැස්ටර් රසායනා විද්‍යාගාරය කළ පරීක්ෂණ වලින් පසු නිගමනය කොට ඇත.

මේ හේතුවෙන් එම දරුවා අයත් පවුලට සම්බන්ධ 60 දෙනෙකුට සහ දරුවා ඉගෙනුම ලැබූ පාසලේ සියලූ දෙනාටම එන්නත් වාර දෙකක් ලබා දීමට ප‍්‍රාදේශීය සෞඛ්‍ය ආයතන බලධාරීන් කටයුතු කර ඇත. ජල භීතිකාව රෝගය වැළඳුණු රෝගියෙකුගේ රෝග ලක්ෂණ දින 20 ත් 60 ත් අතර කාලය තුල හඳුනා ගැනීමට හැකි අතර දින 20 කට පෙර රෝග ලක්ෂණ දැකීමට නොලැබෙන බව ලූවී පැස්ටර් විද්‍යාගාරයේ විශේෂඥයෝ පවසති.

1924න් පසු ප‍්‍රංශය තුලදී ජල භීතිකාව රෝගය වැළඳුනු රෝගියෝ සොයා ගෙන නොමැති අතර 1970 සිට මේ දක්වා මෙම රෝගීන් 23 දෙනෙකු ප‍්‍රංශයේදී සොයා ගෙන ඇති අතර 2014 දී අවසන් රෝගියා හමුවී ඇති අතර ඔවුන් සියලූ දෙනාම ප‍්‍රංශයෙන් පිට විදේශයකදී මෙම රෝගයට ගොදුරුවී ප‍්‍රංශයට පැමිණි අයය.