(හර්ෂණ තුෂාර සිල්වා)
ඇමෙරිකානු පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ දී දෙවැනි මට්ටමේ සංචාරක අවදානමක් පනවා තිබෙන බව මෙරට ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කරයි.
එළැඹෙන නිවාඩු කාලය සැලකිල්ලට ගනිමින් ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙම නිවේදනය නිකුත් කර ඇති අතර ත්‍රස්තවාදීන් කිසිදු පූර්ව දැනුම්දීමකින් හෝ අනතුරු ඇඟවීමකින් තොරව සංචාරකයන් ගැවසෙන ස්ථාන, ප්‍රවාහන කේන්ද්‍රස්ථාන, වෙළෙඳ සැල්, සාප්පු සංකීර්ණ, රජයේ ආයතන සහ ගොඩනැගිලි, හෝටල්, ආපනශාලා, පූජනීය ස්ථාන, සංස්කෘතික ඉසව්, අධ්‍යාපන ආයතන, ගුවන් තොටුපොළ, රෝහල් සහ මහජනතාව ගැවසෙන ස්ථානවලට ප්‍රහාර එල්ල කළහැකියැයි එම නිවේදනයේ සඳහන් වේ.
ඇමෙරිකානු පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ දී පනවා තිබූ සංචාරක අවදානම ලිහිල් කිරීමට ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය ජූනි මාසයේදී පියවර ගත්තේය.
ඒ අනුව ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී ඇමෙරිකා පුරවැසියන්ට තුන්වැනි මට්ටමේ අවදානමක් පනවා තිබූ අතර එය දෙවැනි මට්ටම දක්වා ලිහිල් කර තිබේ. පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසුව සංචාරක අවදානම තෙවැනි මට්ටම දක්වා ඉහළ දැමීය.
මේ අතර තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනය පැහැදිලි කරමින් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත.
එහි මෙසේ දැක්වේ.
“ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ අපගේ ආරක්ෂක දැන්වීම සම්බන්ධයෙන් මාධ්‍ය සහ අනෙකුත් පාර්ශව යොමු කර ඇති අවධානය මට තේරෙනවා. විශේෂ නිවාඩු සහ විශාල මහජන උත්සව පැවැත්වෙන අවස්ථාවලදී යහපත් පිළිවෙතක් ලෙස සංචාරකයන්ට අප මෙවැනි සිහිපත් කිරීම් කරනවා.” යනුවෙනි.

