ශ්‍රී ලංකාවේ ජලජීවි වගාවට චීනයේ තාක්ෂණික සහය


(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකාවේ ජලජීවි වගා කර්මාන්ත සංවර්ධනයට අවශ්‍ය තාක්ෂණික හා පුහුණු පහසුකම් ලබා දීමට චීන රජය එකගතාව පළ කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.  ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදුණු චීන රජයේ කෘෂිකාර්මික උප අමාත්‍ය චෙන් ෂියාඕහූවා මහතා ඇතුළු නියෝජිත පිරිස සමඟ ඉකුත් දා (5) පැවැති ද්විපාර්ශවීක සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස එලෙස චීනයේ සහාය හිමිවන බව අමාත්‍ය අමරවීර මහතා සඳහන් කළේය. 

“මෙරට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන කටයුතු සදහා දැනටමත් චීන රජය විශාල සහයෝගයක් දක්වනවා. මඩකලපුවේ ඉදි කිරීමට යෝජිත ශ්‍රී ලංකාවේ ප්‍රථම මුහුදු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය, නාරා ආයතනය ඉදි කිරීමට සැලසුම් කර තිබෙන අභිජනන මධ්‍යස්ථානය සහ  මුහුදු කුඩැල්ලන් වගා ව්‍යාපෘතිවලට අවශ්‍ය පුහුණු කිරීම හා තාක්ෂණික ආධාර ලබා දීමට නියෝජිත පිරිස එකඟතාව පළ කර තිබෙනවා” යනුවෙන් ද සඳහන් කළේය.