ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් දීමට යුරෝපා සංගමයේ අනුමැතිය


(හර්ෂණ තුෂාර සිල්වා )

ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය ලබාදීමට යුරෝපා සංගමයේ විදේශ සහ වෙළෙඳ අමාත්‍යවරුන්ගේ කවුන්සිලයේ අනුමැතිය හිමි වූ බව  විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.  

 මේ අනුව ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය යටතේ යුරෝපා සංගමයේ රටවල් 28ට අපනයන යැවීමේ අවස්ථාව හිමි වේ. ශ්‍රී ලංකාව ජී.එස්.පී ප්ලස් සහනය යටතේ භාණ්ඩ 6,600 කට ආසන්න සංඛ්‍යාවක් යුරෝපා සංගමයට ආනයනය කරයි.  
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය හිමිවනු ඇත්තේ තවත් වසර එකක් හෝ දෙකක් පමණි. 
ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල දළ ජාතික ආදායම ඉහළ යෑමත් ශ්‍රී ලංකාව ඉදිරියේදී ඉහළ මැදි ආදායම් රටක් ලෙස නම් කිරීමට නියමිත නිසාත් ජී.එස්.පී ප්ලස් සහනය තවදුරටත් හිමිවනුයේ වසර තුනකට බැවින් යුරෝපා සංගමය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට පිවිසිය යුතු බව ද නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා මීට පෙර අවස්ථාවකදී කීය. 
එම නිසා යුරෝපා සංගමයෙන් ඉවත් වන බ්‍රිතාන්‍ය සමඟත් යුරෝපා සංගමය සහ එහි සාමාජික රටවල් සමඟත් නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට යා යුතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගිය මස අවසාන සතියේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.